යුක්රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධ සාකච්ඡා සඳහා පුටින් ‘වහාම’ එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. තමා රුසියානු නායකයා සමඟ දීර්ඝ දුරකථන සංවාදයක් පැවැත්වූ බවත්, එකිනෙකා සිය රටවල් නැරඹීමට පැමිණීමට ආරාධනා පවා හුවමාරු කරගත් බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබේ. මෙය ට්‍රම්ප් ලද ඉක්මන් භූ දේශපාලනික ජයග්‍රහණයකි.
ඒ අනුව සිය X, “සත්‍ය” සමාජ ජාලයේ තැබූ සටහනක ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා පුටින් සමඟ යුක්රේනය ගැන පමණක් නොව “මැදපෙරදිග, බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය, ඩොලරයේ බලය සහ වෙනත් විවිධ විෂයයන්” ගැන ද කතා කළ බවයි.
එසේ වුවද දළදඬු හාදයකු වන පුටින් සාකච්ඡා සඳහා පොළඹවා ගැනීම ට්‍රම්ප්ගේ දේශපාලනික උප්පරවැට්ටියක් ඔස්සේ සිදුවූවක් බව පසුව හෙළිදරව් විය.
ඒ පෙන්ටගනයේ ප්‍රධානියාගේ ප්‍රකාශයක් අනුවය. පුටින් සාකච්ඡා සඳහා පොළඹවා ගත්තේ මේ වනවිට යුක්රේන යුද්ධයට රුසියාවට අරමුදල් සපයන ප්‍රධාන මාර්ගයක් වන ඉන්ධන බලශක්ති මිල අඩුකිරීම සඳහා එක්සත් ජනපද ට්‍රම්ප් රජය සූක්ෂමව කටයුතු කිරීමත් සමඟ බව ඔහු කියා ඇත. මෙම පියවර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සාකච්ඡා මේසයට ගෙන ඒමට උපකාරී වී ඇති බව රැම්ස්ටයින් හි පැවති රැස්වීමකදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසීය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ බලශක්ති නිෂ්පාදනය පුළුල් කරමින් සිටින බවත්, ඵලදායී රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ තෙල් හා ගෑස් මිල අඩුකිරීම සහතික කිරීම සඳහා අනෙකුත් රටවලින්ද එසේ කරන ලෙස ඉල්ලා ඇති බවත්, ඔහු පැහැදිලි කළේය. මෙලෙස “අඩු බලශක්ති මිල ගණන් සහ බලශක්ති සම්බාධක වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම රුසියාව සාකච්ඡා මේසයට ගෙන ඒමට උපකාරී වනු ඇත,” හෙග්සෙත් පැවසීය. මීට පෙර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය සමඟ සාම සාකච්ඡාවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට සම්බාධක පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණි. ඒ අතර, යුක්රේනය සහ රුසියාව සඳහා ඇමෙරිකානු විශේෂ නියෝජිත කීත් කෙලොග් අවධාරණය කළේ ද යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු නායකයා රුසියානු විරෝධී සම්බාධක දෙගුණ කිරීමට වුවද සූදානම්ව සිටින බවය. ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ යුක්රේනය “යම් දිනක රුසියාවට අයත් විය හැකි” බවය. එය බටහිර පිටුබලය ඇතිව, මොස්කව්හි පූර්ණ පරිමාණ ආක්‍රමණයට එරෙහිව වසර තුනකට ආසන්න කාලයක් ආරක්ෂා වී ඇති ස්වෛරී රටක අනාගත ස්වාධීනත්වය ප්‍රශ්න කරන පරස්පර විරෝධී ප්‍රකාශයකි.