නව ජනාධිපති ට්‍රම්ප් සිය නව ධුර කාලය ඇරැඹුවේ ‘අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වෙනවා” යනුවෙන් කියමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම, සංක්‍රමණිකයන්ට දැඩි නීති පැනවීම, පැරිස් දේශගුණ සම්මුතියෙන් ඉවත්වීම, මෙක්සිකෝ බොක්ක අමෙරිකානු බොක්ක ලෙස සංශෝධනය කිරීම, සංක්‍රාන්ති ලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම රුසියාවට සම්බාධක ගැන තරවටු කිරීම වැනි ලෝකය කැළඹූ වෙනස්කම් රැසක් මෙහිදී සිදුවිය.
නමුත් ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟම වාගේ ඔහුගේ රජයේ නව ආයතනයක් වන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව Department of Government Efficiency හෙවත් DOGE ඒ ආරම්භ කළ සැණින්ම වාගේ වසා දැමීමේ තර්ජනයකට ලක්ව ඇත. එයට එරෙහිව නඩුවක් ගොනුවීමත් සමඟිනි.
‘‘ඩොජ්’’ යනු ට්‍රම්ප් දිවුරුම් දීමට පෙර ඔහුගේ වඩාත්ම ප්‍රචාරය කරන ලද ඉදිරි සැලසුම්වලින් එකකි. ඔහු රජයේ නාස්තිය කපා හැරීමට උපකාර කිරීම සඳහා විවේක් රාමස්වාමි සහ බිලියනපති එලොන් මස්ක් යටතේ මේ අමුතු ආයතනය යොදා ගන්නට සැලසුම් කර තිබුණි. එය ජනාධිපතිවරයා පළමු දිනයේම අත්සන් කළ විධායක නියෝග දුසිම් ගණනකින් එකකි.
නමුත් එදිනම, රජයේ කටයුතු නිරීක්ෂණ කණ්ඩායමක් වන ‘මහජන පුරවැසියා’ මෙන්ම, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂක අරමුදල සංවිධානය සහ අමෙරිකානු රජයේ සේවක සංගමය යන මහජන ක්‍රියාකාරීන් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් මිනිත්තු කිහිපයකට පසු නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබුණි.
එයින්, ඩොජ් ඇත්තවශයෙන්ම රජයේ ආයතනයක් නොවන බව ඔවුහු පෙන්වා දෙති. එහි රැස්වීම් රහසිගතව පවත්වනු ලබන අතර වාර්තා සහ වැඩ මහජනතාවට ලබාගත නොහැකි නිසා DOGE පිහිටුවීම ෆෙඩරල් උපදේශක කමිටු පනත (FACA) උල්ලංඝනය කරන බවට ඔවුහු තර්ක කරති. මේ අනුව ඔවුන් නඩු පවරා ඇති අතර ට්‍රම්ප් සහ කළමනාකරණ සහ අයවැය කාර්යාලය (OMB) විත්තිකරුවන් ලෙස නම් කර ඇත. ඔවුන් කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ නඩුව ගොනු කළ අතර පරිපාලනය DOGE උපදේශක කමිටුවක් ලෙස භාවිත කිරීම අවහිර කරන ලෙසත් ට්‍රම්ප් සහ කළමනාකරණ සහ අයවැය කාර්යාලය (OMB) හමුවීම සහ උපදෙස් දීම තහනම් කරන ලෙසත් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලා ඇත. මේ නඩුව නිසා ඩොජ් ආයතනයේ සැබෑ රුව දැන් හෙළිදරව් වී ඇත.
මුලින් ඩොජ් නායකත්වය සඳහා ට්‍රම්ප්, විවේක් රාමස්වාමි සහ බිලියනපති එලොන් මස්ක් තෝරාගත් නමුත් ඔහියෝ ආණ්ඩුකාර ධුරය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කරන බැවින්, රාමස්වාමි දැනටමත් ඉවත්ව ගොස් තිබේ. ඒ අනුව ‘‘ඩොජ්’’ නායකත්වය දැන් එලොන් මස්ක් වෙත ලැබී තිබේ.
සඳුදා ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද විධායක නියෝගයට අනුව, ඩොජ් උපදේශක කමිටුවක් ලෙස අඩුවෙන් ක්‍රියා කරන බව පෙනේ. එහි සඳහන් අයුරින් ‘‘ඩොජ්’’ යනු ජනාධිපති ඔබාමා යටතේ නිර්මාණය කරන ලද තාක්ෂණ ආයතනයක් වූ එක්සත් ජනපද ඩිජිටල් සේවයයි - USDS. දැන් සිදුව ඇත්තේ එයම එක්සත් ජනපදයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව - ‘‘ඩොජ්’’ සේවය, ලෙස නැවත ප්‍රසිද්ධියේ නම් කිරීමකි. එක්සත් ජනපද ඩිජිටල් සේවයට සම්බන්ධව, මාස 18 ක් පවතින සහ 2026 ජූලි 4 වැනි දිනෙන් අවසන් වන තාවකාලික ඩොජ් සංවිධානයක් ලෙස මෙය පවතින බව නියෝගයේ සඳහන් වේ. “මෙම නියෝගය මගින් රජයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව උපරිම කිරීම සඳහා තාක්ෂණය සහ මෘදුකාංග නවීකරණය කිරීම මගින් ජනාධිපතිවරයාගේ DOGE න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලබන අතර,” යනුවෙන් නියෝගයේ සඳහන් වේ.
සඳුදා රාත්‍රියේ නියෝගයට අත්සන් කරමින් ට්‍රම්ප් පැවසුවේ මාධ්‍යය වාර්තා සහ කටකතා පැතිර ගිය අයුරින්, මස්ක්ට ධවල මන්දිර බටහිර අංශයේ කාර්යාලයක් නොමැති බවයි. නමුත් ඔහුගේ උත්සාහය ක්‍රියාත්මක කිරීම සඳහා DOGE සේවකයන් 20 දෙනකු බඳවා ගන්නා බවය. ඒ අනුව සැබැවින්ම ඩොජ් යනු නාස්තිය අවම කිරීමට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා තැනූ ආයතනයකි. ඒ සඳහා නව තාක්ෂණයේ ප්‍රමාණිකයකු වන මස්ක් යොදාගෙන තිබේ.