2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ට්‍රම්ප් පෙරැළියකට සූදානම්!

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

අපරාධයකට දඬුවම් නියම කරන ලද පළමු හිටපු ඇමෙරිකා ජනාධිපතිවරයා බවට මේ වන විට ඉතිහාසගතව ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වැනි දින සිය දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමේ දිනයට සූදානම් වෙමින් සිටියි. නමුත් නව ජනාධිපතිවරයා ලබන සතියේ ඕවල් කාර්යාලයට නැවත පැමිණෙනු ඇත්තේ ලොස් ඇන්ජලීස් හි ඇතිවන ලැව්ගිනි හේතුවෙන් ඔහුගේ මේ සුවිශේෂී මොහොත පිළිබඳ රටේ අවධානය වෙනතකට යොමුව තිබියදීය. ට්‍රම්ප් ඔහුගේ පරිපාලනයේ මුල් දින කිහිපය තුළම ලොස් ඇන්ජලීස් වෙත සංචාරයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඔහු මේ වනවිට සිය රජයේ භූමිකා තෝරා ගනිමින් සිටී. ඒ අනුව ට්‍රම්ප්ගේ කැබිනට් තේරීම් කිහිපයක් ඉකුත් දා සෙනෙට් සභාව ඉදිරියේ පෙනී සිටියේ දැඩි ප්‍රශ්න කිරීම් මැදය. අඟහරුවාදා ආරක්ෂක ලේකම් ධුරයට තේරී පත් වූ පීට් හෙග්සෙත් සහ බදාදා රාජ්‍ය ලේකම් ධුරයට ඔහු තෝරාගත් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ ද ඒ අතර වූහ.

ට්‍රම්ප්ගේ කණ්ඩායම ඔහුගේ අවුල් සහගත පළමු ධුර කාලයෙන් පාඩම් ඉගෙන ගැනීමෙන් පසු මෙවර වේගවත් නව ආරම්භයක් ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටී. විශේෂයෙන් කඩිනම් දේශසීමා ප්‍රතිසංස්කරණ, දැවැන්ත බදු කප්පාදු සහ තෙල් ගවේෂණය සඳහා නව දිරිගැන්වීම් දැනටමත් ඔහුගේ රජයේ ප්‍රධාන තැන ගත් මාතෘකා බවට පත්ව තිබේ. ධවල මන්දිරයට එන, නව ජනාධිපතිවරයා සාම්ප්‍රදායික ප්‍රධාන සාද ත්‍රිත්වයකට සහභාගි වීමට පෙර මුල් විධායක නියෝග රාශියක් එළිදැක්වීමට ද අපේක්ෂා කර ඇත. ඒ අතරම ඇමෙරිකාවේ පදිංචි වී සිටින මිලියන 4.5 ක් වන ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් නියෝජනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ප්‍රධාන තනතුරු රැසකට ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් පත්වනු ඇතැයි ද බලාපොරොත්තු වේ. ලෝක සාමය සහ ආර්ථිකය ට්‍රම්ප්ගේ නව පාලනය තුළ දැඩි පෙරළිකාර සිදුවීම් සහිත වකවානුවකට මුහුණ දෙනු ඇති බව විචාරක මතය වී තිබේ. ඒ අතර න්‍යෂ්ටික බලය යොදාගන්නා 3 වැනි ලෝක යුද්ධයක් ගැන අනතුරු ඇඟවීම් ද පළව ඇත.