පැයට කිලෝමීටර් 450 ක වේගයක් ඇති ලොව ප්‍රමුඛතම අධිවේගී දුම්රිය චීනය විසින් බෙයිජිං හිදී එළිදක්වනු ලැබීය.
චීනයේ ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, දෙසැම්බර් 29 වැනි දින බීජිං හි එළිදක්වන ලද CR450, නමැති මෙම බුලට් දුම්රියේ පරීක්ෂණ වේගය පැයට කිලෝමීටර 450 ක් වන අතර එහි මෙහෙයුම් වේගය පැයට කිලෝමීටර 400 ක් වනු ඇත. වාණිජ සේවයට එක්වූ පසු, එය 2017 දී ආරම්භ වූ සහ පැයට කිලෝමීටර් 350 (සැතපුම් 217) ක වේගයෙන් ධාවනය වන චීනයේ වර්තමාන CR400 මාදිලිය අභිබවා යන ලොව වේගවත්ම අධිවේගී දුම්රිය බවට පත් විය හැකිය. CR450, අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක, ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවතින බව වාර්තා වේ. මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු ගමනාන්ත සඳහා ගතවන කාලය වෙනස් කිරීමේ හැකියාව ද පවතී. පසුගිය දශකය තුළ චීනය දුම්රිය සංවර්ධනයේ අවිවාදිත ලෝක නායකයකු බවට පත් වූ අතර රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාහේ කිලෝමීටර් දහස් ගණනක් වූ නව දුම්රිය මාර්ග ගොඩනගා ඇත. චීනයේ ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව එහි දුම්රිය ජාලය කිලෝමීටර් 160,000 කට වඩා විහිදෙන අතර, කිලෝමීටර 46,000 කට වඩා වැඩි අධිවේගී දුම්රිය මාර්ග ඇතුළත් වේ. අධිවේගී දුම්රිය සැතපුම් 700 ක් දක්වා දිගු ගුවන් ගමන් සඳහා ඵලදායී විකල්පයක් ලෙස දැනට පවතී.