වසර 132 කට පසු දෙවැනි වරටත් ඇමෙරිකා ජනතාව වරක් පැරදුණු ජනාධිපතිවරයකුට නැවත රට භාර දී තිබේ. ඒ විශ්වාසය තැබිය නොහැකි, හිතුවක්කාර, ජාතිකවාදී සහ ඔහුට එරෙහි ඇතැම් පාර්ශ්ව විසින් පැසිස්ට්වාදියකු ලෙස ද හැඳින්වූ හිටපු 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට 47 වැනියා ලෙස සිය රට නැවත භාරදීමත් සමඟිනි. ඒ බිඳ වැටුණු ආර්ථිකය, දේශපාලනය, ඇමෙරිකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ සෞභාග්‍යය නැවත නඟා සිටුවීමේ පොරොන්දුව මතය.
සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වීමට පෙරම සිය ජයග්‍රහණයේ කතාව සිදු කළ ට්‍රම්ප් මෙය ඉතිහාසගත වන මොහොතක් බව කියමින් රටට සෞභාග්‍යය පිරි ස්වර්ණමය අනාගතයක් තිළිණ කර දීමටත්, ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමටත්, බදු බර අඩුකර ආර්ථිකය නගා සිටුවීමටත් පොරොන්දු විය. මේ අතර ගාසා ප්‍රමුඛ ආරාබිකරයට සාමයත්, යුක්රේනයට සාමයත් ගෙන ඒමට කටයුතු කරන බව කීවේය.
ඉතා තියුණු තරගයක් ලෙස ඇරැඹුණු මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී එරට ඡන්දදායකයන් සියලු දේශපාලන විචාර, විවේචන, අනාවැකි, මැතිවරණ පූර්ව වාර්තා, මත විමසුම් උඩු යටිකුරු කරමින් ට්‍රම්ප්ට 295 ක් සහ හැරිස්ට මැතිවරණ විද්‍යාල 226 ක් ලෙස කැපී පෙනෙන බෙදීමක් ඇති කරමින් ජනාධිපති ධුරය ලබා දී තිබේ. ඒ සෙනෙටය තුළ රිපබ්ලික් පක්ෂයට 52 ට ඩිමොක්‍රටික් 44 ක් ලෙස බලය තිළිණ කරමිනි. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට ලැබී තිබූ මූලික ප්‍රතිඵල තුළදීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකානුවන්ට ආසන 212 ක්ද, කමලා ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 199 ක්ද හිමිකර දෙමින් කරට කර බල තුලනයක් සිදුවන ලකුණු පහළ කර තිබුණි. සෙනෙටය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ලද මේ රිපබ්ලිකන් පාලනයේ වැඩි නැඹුරුව ට්‍රම්ප්ට ඔහුගේ ජනාධිපතිවරණ න්‍යාය පත්‍රය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේදී විශාල තල්ලුවක් ලබා දෙනු ඇත.
මෙතෙක් එම භූමිකාවට තේරී පත්වූ වයස්ගතම මිනිසකු ලෙස 78 හැවිරිදි ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ඇමෙරිකා පාර්ලිමේන්තුව ඇති කැපිටල් හිල් අසල විරෝධතාවක් සම්බන්ධ චෝදනා, අයථා ලිපි ගොනු පරිහරණ චෝදනාවක්, අපරාධ චෝදනා හතරක්, ඇතුළුව නඩු විභාග රැල්ලක් සමඟ දෝෂාභියෝග දෙකකට සහ ඝාතන ප්‍රයත්න දෙකකට මුහුණ දෙමිනි. ට්‍රම්ප් මෙම ඉතිහාසගත පෙරැළිය කළේ රටේ තීරණාත්මක තියුණු තරගකාරී මැතිවරණ ප්‍රාන්ත ලෙස ප්‍රකට පුරාණ කාර්මික ජනපද තීරයට අයත් විස්කොන්සින් (10), මිචිගන් (15) සහ ඇමෙරිකානු මැතිවරණ දිශානතිය කලින්ම මැනවින් තහවුරු කරන මාලිමාව ලෙස හැඳින්වෙන පෙන්සිල්වෙනියාව (19) සතු සියලු නියෝජිත ඡන්ද දිනා ගනිමිනි. එසේම කාන්තාර තීරයට අයත් තීරණාත්මක ප්‍රාන්ත වන නෙවාඩාව (6), ඇරිසෝනා (11) උතුරු කැරොලිනා (16) සහ ජොර්ජියා (16) සියල්ලේම බලය ද ට්‍රම්ප් වෙත ගොනුවන ලකුණු කලින්ම පහළ වී තිබුණි. (නෙවාඩා සහ ඇරිසෝනා අවසන් ප්‍රතිඵල සුපුරුදු පරිදි දින කිහිපයක් පමා වීමට නියමිතය).
රට පුරා දත්ත පෙන්වා දුන්නේ හැරිස් හට නාගරික ඡන්ද වැඩි බලයක් ලැබී නැති බවය. ඒ අතර ට්‍රම්ප් ග්‍රාමීය ඡන්ද බහුතරයක් ආකර්ශනය කරගෙන ඇති බවය. එසේම 2020 ට සාපේක්ෂව සියයට 90 ක පමණ ඡන්ද වර්ධනයක් රට පුරාම ඇතිකර ගැනීමට ඔහු සමත් විය. සුදු ජාතික පිරිමින්, 40 ට අඩු තරුණ ඡන්ද මෙන්ම ආසියානු, කළු, හිස්පැනික්, ආරාබි වැනි සියලුම ඇමෙරිකානුවන්ගේ ඡන්ද ආකර්ශනය කර ගැනීමට ට්‍රම්ප්ට හැකිව තිබුණි. හැරිස් වෙත අලුතින් ගොනුව සිටියේ 65 ට වැඩි අය සහ ඉහළ අධ්‍යාපනය ලත් කාන්තාවන්ය.
ජනාධිපතිවරණය ආසන්න වන තෙක්ම රට තුළ හැරිස් වෙත වැඩි නැඹුරුවක් ඇති බව දක්නට ලැබුණි. නමුත් රටේ සංක්‍රමණික ගැටලුව සහ ආර්ථික ඇද වැටීම ගැන සමස්ත ජනතාව තුළ තද කලකිරීමක් පැතිර තිබූ අතර රටේ ප්‍රශ්න තිබියදී රටින් පිට යුක්රේන යුද්ධය ඇතුළු විවිධ ප්‍රශ්න සඳහා බිලියන ගණන් සැපයීම ගැන ද, ගාසා තීරයේ පලස්තීන ගැටලුව සම්බන්ධ බයිඩන් රජයේ හැසිරීම ද ඇමෙරිකානුවන් බොහෝ දෙනෙක් බයිඩන් පාලනය ගැන නොසෑහීමකට සහ කෝපයට පත්ව සිටියහ. එම පාලනයේ කොටස්කාරියක වීමේ වන්දිය ගෙවන්නට සිදුව තිබුණේ හැරිස් හටය. එහි වාසිය ගියේ ට්‍රම්ප් වෙතටය.
මෙවර හිටපු උප ජනාධිපති කමලා හැරිස් අභිබවා ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබුණු ප්‍රබල පෙළඹුම්කාරක අතර එක්සත් ජනපද ලැටිනෝ ඡන්ද 2020 ට වඩා මෙම මැතිවරණයේදී රිපබ්ලිකන් පැත්තට නැඹුරු වීම ද ප්‍රධාන විය. ප්‍රධාන ඡන්දදායක කණ්ඩායමක් වන ලතින් ජාතිකයන් එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් වන අතර ලතින් ජාතිකයන් මිලියන 36.2 ක් පමණ මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
මෙවර ට්‍රම්ප් වටා රොක්ව සිටි එලොන් මස්ක් ඇතුළු බලගතු මහ මොළකරුවන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පිරිස ද ඔහුගේ ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් විය. ඒ අනුව ට්‍රම්ප්ගේ ඇමැති මණ්ඩලය ලොව ප්‍රථම ප්‍රකෝටිපති ඇමැති මණ්ඩලය වන ලකුණු පෙනෙන්නට තිබේ. ඡන්ද විමසීම සිදු වූ 5 වැනිදා රැයේ ට්‍රම්ප්ගේ Mar-a-Lago නිකේතනයට මේ ප්‍රභු පිරිස එක්ව සිටියහ. එලොන් මස්ක්, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයකු වූ කනිෂ්ඨ රොබට් එෆ්. කෙනඩි, ඩැනා වයිට්, විවේක් රාමස්වාමි, ලාරා ට්‍රම්ප්, මාර්ජෝරි ටේලර් ග්‍රීන්, ඇලිනා හබ්බා, ඩැනිකා පැට්‍රික්, සාරා හකබි සැන්ඩර්ස් සහ ට්‍රම්ප් රජයේ උප ජනාධිපති වීමට නියමිත ජේ.ඩී. වැන්ස් ඒ අතර කැපී පෙනුණි.
ඡන්දය වෙනුවෙන් බිලියන ගණනක් වියදම් කළ මස්ක් දෙවැනි ට්‍රම්ප් පරිපාලනය යටතේ නව ‘රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ කාර්යාලයේ‘ අධ්‍යක්ෂවරයා වීමට සූදානම්ව සිටියි.
ජයග්‍රහණය ලැබුවේ නම් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් ප්‍රථම ආසියාතික සම්භවයක් ඇති කාන්තාව වන්නට වාසනාව තිබූ නමුත් ඒ අවස්ථාව අහිමිව ගිය උප ජනාධිපති කමලා හැරිස් බදාදා දහවල් ට්‍රම්ප්ට කතා කර ඔහුට සුබ පැතීය. ටික වේලාවකට පසු, බයිඩන් ට්‍රම්ප්ට සුබ පැතීමට සහ ධවල මන්දිරයට තේරී පත්වූ ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට ද ඇමතීය.
“අද මගේ හදවත පිරී ඇත. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන කෘතඥතාවයෙන් පිරී ඇත. අපේ රට කෙරෙහි ආදරයෙන් සහ අධිෂ්ඨානයෙන් පිරී ඇත. මේ මැතිවරණ ප්‍රතිඵල අපි පිළිගත යුතුයි. මම ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කර ඔහුගේ ජයග්‍රහණයට සුබ පැතුවා. මම ඔහුට කිව්වා අපි ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට උදව් කරන බව. ඒ වුවද නිදහස සඳහා, සම අවස්ථාව සඳහා, සාධාරණත්වය සඳහා සහ සියලු මිනිසුන්ගේ ගෞරවය සඳහා වන සටන, අපේ ජාතියේ හදවතේ ඇති පරමාදර්ශ සඳහා අරගලය, ඇමෙරිකාව අපගේ උපරිමයෙන් පිළිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටන, යහපත් අනාගතයක් සඳහා වූ සටන මම කිසිදා අත නොහරිමි.” යනුවෙන් හැරිස් සිය පරාජය භාර ගනිමින් කීවාය.
මේ අතර ට්‍රම්ප්ට, ඉන්දීය අගමැති මෝදි, ඔස්ට්‍රේලියා අගමැති, කැනඩා අගමැති, ප්‍රංශ ජනාධිපති මෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ බ්‍රිතාන්‍යයේ කීර් ස්ටාමර් ඇතුළු ලෝක නායකයන් රැසක් දැනටමත් සුබ පැතුම් පිරිනමා ඇත. ට්‍රම්ප් 2025 ජනවාරි 20 සඳුදා ජනාධිපති පදවිප්‍රාප්ති උත්සවයේදී දිවුරුම් දෙනු ඇති අතර, එහිදී ඔහු නීත්‍යානුකූලව ජනාධිපති ධුරයේ බලය සහ වගකීම් භාරගනු ඇත.
• සුගත් පී. කුලතුංග ආරච්චි