නාසා පරිපාලක බිල් නෙල්සන් සිකුරාදා වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. SpaceX නිර්මාතෘ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍රයකු වන එලොන් මස්ක් සමඟ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2022 අග සිට “නිත්‍ය සම්බන්ධතා” පවත්වාගෙන යන බවට ඉදිරිපත්ව ඇති කරුණු හේතුවෙනි.
මෙලෙස සබඳතාවක් පැවතියේ නම් එය තම ආයතනයට මෙන්ම රටේ ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බව ඔහු කියා තිබේ. මස්ක්ගේ ස්පේස් එක්ස් ආයතනය මේ වනවිට නාසා සමඟ අභ්‍යවකාශ තරණ ගනුදෙනුවල යෙදෙයි.
එලොන් මස්ක්, රුසියානු නායකයා සමඟ “පුද්ගලික මාතෘකා මෙන්ම, ව්‍යාපාරික සහ භූ දේශපාලන ආතතීන්” පිළිබඳව සාකච්ඡා කර ඇති බව පවසන පත්‍ර වාර්තාව, නාසා සහ එක්සත් ජනපද හමුදාව සමඟ SpaceX හි සබඳතාව රජයේ සංවේදී තොරතුරු සහ එක්සත් ජනපද බුද්ධි අංශ වෙත ප්‍රවේශය ලබා දී ඇති බැවින් ජාතික ආරක්ෂාව පිළිබඳ මේ දෙදෙනාගේ ආසාමාන්‍ය මිත්‍රත්වය ගැටලු මතු කරන බව පෙන්වා දෙයි. රුසියාව වැනි එක්සත් ජනපද විරුද්ධවාදීන් සමඟ මස්ක්ගේ අන්තර්ක්‍රියා පිළිබඳව සමහර එක්සත් ජනපද නිලධාරීන් පසුගිය වසරේ සැක මතු කර තිබුණි.
“ඒ කතාව ඇත්තක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ එය විමර්ශනය කළ යුතුයි.” නාසා පරිපාලක බිල් නෙල්සන් කියා ඇත. “එලොන් මස්ක් සහ රුසියාවේ ජනාධිපතිවරයා අතර බහුවිධ සංවාද ඇති බව කතාව සත්‍ය නම්, එය විශේෂයෙන් නාසා ආයතනයට, ආරක්ෂක දෙපාර්තමේන්තුවට, සමහර බුද්ධි අංශවලට බරපතළ ලෙස අදාළ වනු ඇතැයි මම සිතමි.” යැයි නාසා ප්‍රධානී බිල් නෙල්සන් අනතුරු අඟවා තිබේ.