2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

විරසක රටවල් දෙකක සිට කළ ඔන්ලයින් විවාහය!

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

සිය රටවල් දෙකේ බහුතරයක් විරසකව ගහමරා ගනිද්දී අන්තර්ජාලය තුළින් එක් වූ යුවළක් අපූරු ‘ඔන්ලයින්’ විවාහ උත්සවයක් සිදු කළ අයුරු පසුගියදා විදෙස් මාධ්‍ය තුළ ප්‍රමුඛ පුවතක් විය. එය සිදු වූයේ ඉන්දියාවේ මනාලයකු සහ පාකිස්ථානයේ මනාලියක අතරය.

මේ විවාහය සිදුවී ඇත්තේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටහ්සීන් ශාහිඩ්ගේ පුත්‍රයකු සහ පාකිස්ථානයේ ලාහෝර් නුවර පදිංචි අන්ද්ලීප් සහ්රා නමැති තරුණියක අතරය. කිලෝමීටර් හත්සියයකට අධික දුරකින් පිහිටි රටවල් දෙකකට අයත් නගර දෙකක මනාලයා සහ මනාලිය අතර අන්තර්ජාලය ඔස්සේ ඉස්ලාම් ආගමික චාරිත්‍රයට අනුව විවාහය සිදු කර තිබුණි.

මනාල යුවළ අතර ‘ඔන්ලයින්’ විවාහය සිදුවී ඇත්තේ දෙරට අතර පවතින දේශපාලන මතභේදය හේතුවෙන් මනාලයාගේ පාර්ශ්වයට ලාහෝර් නුවරට යෑමට පාකිස්ථාන රජයෙන් වීසා බලපත්‍ර නිකුත් නොකිරීම නිසාය. ඒ අතරතුර මනාලියගේ මව දැඩි ලෙස රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමට සිදුවීම ද ‘ඔන්ලයින්’ විවාහයට හේතු වී ඇත.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලයාගේ පාර්ශ්වයේ ආගමික චාරිත්‍ර සිදු කළ අතර, අන්තර්ජාලය ඔස්සේ සජීවීව එම ආගමික වතාවත් සිදුවෙද්දී ලාහෝර් නුවර මනාලියගේ පාර්ශ්වය ද අන්තර්ජාලය ඔස්සේ සජීවීව මනාලයාගේ පාර්ශ්වය හා සම්බන්ධ වී තිබුණි.