2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ඉන්දු - කැනඩා ගැටුම ඉහළට

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 114

“කැනේඩියානු ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ඉන්දියාව බිහිසුණු වැරැද්දක්” කළ බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ බදාදා විදේශ මැදිහත්වීම් පිළිබඳ සාකච්ඡාවකදී චෝදනා එල්ල කළේ, නව දිල්ලිය සීක් විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර පසුගිය දා ඇතිවූ ගැටුම තවදුරටත් ප්‍රබල කරමිනි.

ඒ මගින් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය සිය රට තුළ ප්‍රචණ්ඩත්වය මෙහෙයවන බවට චෝදනා කර ඇත. මෙය නවදිල්ලිය, කැනඩාව පදනම් කරගත් සීක් විරෝධතාකරුවන් ඉලක්ක කිරීම සම්බන්ධයෙන් වැඩෙන විරසකයේ නවතම පරිච්ඡේදයයි. 2023 ජූනි මාසයේදී වැන්කුවර්හිදී සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමත් සමඟ දෙරට අතර ආරම්භ වූ භේදය හේතුවෙන් ඉන්දියාව සහ කැනඩාව එකිනෙකාගේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සිය රටවල් තුළින් පන්නා දමා දින දෙකකට පසුව මෙම ප්‍රකාශය සිදුවිය.

2023 වසරේ අගභාගයේදී, ටෘඩෝ පැවසුවේ, ස්වාධීන ඛලිස්තානි රාජ්‍යයක ස්වරූපයෙන් සීක් නිජ භූමියක් වෙනුවෙන් පෙනී සිටි කැනේඩියානු පුරවැසියකු වූ නිජ්ජාර් ඝාතනයට ඉන්දියානු නියෝජිතයන් සම්බන්ධ බවට කැනඩාව සතුව විශ්වාස කළ හැකි සාක්ෂි ඇති බවයි. ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් කැනේඩියානු බලධාරීහු ඉන්දීය ජාතිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර, නවදිල්ලිය තමන් ඊට සම්බන්ධ බවට ඇති වාර්තා නැවත නැවතත් ප්‍රතික්ෂේප කළේය. ඉකුත් සඳුදා ද, ඉන්දියාව “ත්‍රස්තවාදියකු”‍ ලෙස තමන් නම් කළ නිජ්ජාර් ඝාතනයට තමන් සම්බන්ධ බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. ඒ එම චෝදනා “අමුතු”‍ සහ “දේශපාලන වාසි සඳහා ඉන්දියාවට මඩ ගැසීමේ උපාය මාර්ගයක්”‍ ලෙස හඳුන්වමිනි. කෙසේ වෙතත්, බදාදා ටෘඩෝ පැවසුවේ, නිජ්ජාර්ගේ ඝාතනය ඊටත් වඩා පුළුල් ඉන්දියානු මෙහෙයුමක මූලික කොටසක් වන අතර, ඉන්දීය රජයේ නියෝජිතයන් කැනඩාව තුළ සිය විරුද්ධවාදීන් ක්‍රමානුකූලව ඉලක්ක කර ගනිමින් සිටින බවත් එය කැනඩාවේ ආරක්ෂාවට හානිකර බලපෑමක් බවත්ය.