2024 ජුනි 01 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාවේ පෙරැළිකාර මැතිවරණය!

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 94

දකුණු අප්‍රිකාව ද බදාදා ජාතික මැතිවරණයක් පැවැත්වීය. එය වසර 30 තුළ රටේ පැවැති වඩාත්ම උණුසුම් ඡන්ද සටන විය හැකි අතර, දිගු කලක් රට කරවූ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය දැන් සිය බහුතරය රඳවා ගැනීමේ දැඩි අසීරුවකට මුහුණ දී සිටී.

දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර පාලනයේ වර්ණභේදවාදී ක්‍රමය වෙනස් කර 1994 දී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පසු අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය ANC එරට බහුතරය දැරෑ පක්ෂය සහ ආණ්ඩුව වී ඇති අතර එතැන් සිට ජනාධිපති ධූරයද ඒ පක්ෂ අපේක්ෂකයෙක්ම දරයි.

නමුත් වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු දශක තුනක් තිස්සේ පාලනය කර ඇති අප්‍රිකානු ජාතික කොංග්‍රසයට ප්‍රථම වතාවට සම්පූර්ණ බහුතරය අහිමි විය හැකි ලකුණු උදා වී ඇත. ජාතික ඡන්ද පත්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට හෝ A.N.C. ට අභියෝග කරන පක්ෂ 51ක් පවතී. මේ අතර  දකුණු අප්‍රිකානුවන්ට සිය පක්ෂ ප්‍රවේශ පත්‍ර මත පක්ෂ මගින් තරග නොකරන ස්වාධීන අපේක්ෂකයන් සඳහා ද ඡන්දය ප්‍රකාශ කිරීමට විකල්පයක් ලැබී තිබුණි. මේ නිසාම මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට,  දෙකක් වෙනුවට දිගු ඡන්ද පත්‍රිකා තුනක්ම පිරවීමට ඡන්දදායකයන්ට සිදු විය.

නව ක්‍රමය නිසා බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රමාදයන් ඇතිවූ අතර, ඡන්දදායකයෝ මන්දගාමී, රිංගා යා යුතු දිගු පෝලිම්වල රුඳී සිටියහ. 1994 සිට සෑමවිටම ANC ට පාර්ලිමේන්තු බහුතරයක් තිබූ නිසා, එතැන් සිට සෑම ජනාධිපතිවරයෙක්ම ANC වෙතින් පත් විය. නෙල්සන් මැන්ඩෙලාගෙන් පටන්ගෙන රැම්පෝසා  දක්වා ANC සිය පාර්ලිමේන්තු බහුතරය භාවිත කරමින් තම නායකයා රටේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම සඳහා පසුගිය දශක තුන පුරාවටම පාහේ අනුගමනය කළ ක්‍රියා පටිපාටිය වී තිබුණි. නමුත් මෙවර එය එතරම් සරල නොවිය හැකිය.

ANC පූර්ණ බහුතරයක් දිනාගනු ඇතැයි තමා විශ්වාස කරන බව ඡන්ද විමසීමෙන් පසු බදාදා රැම්පෝසා පැවසීය. මෙවරද ANC විශාලතම ඡන්ද දිනාගන්නා පක්ෂය වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන නමුත් එහි ප්‍රතිශතය 50% ට වඩා අඩු වුවහොත් ආණ්ඩුවේ රැඳී සිටීම සඳහා වෙනත් පක්ෂයක් හෝ පක්ෂ සමඟ ගිවිසුමක් හෝ සන්ධානයක් අවශ්‍ය වන අතර සිය දෙවැනි හා අවසාන පස් අවුරුදු වාරය සඳහා ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති සිරිල් රැම්පෝසා නැවත තේරී පත්වීම සඳහා නීති සම්පාදකයන්ගෙන් ඡන්ද 201 ක් ලබාගත යුතුය.