මාලදිවයිනේ පසුගියදා 21 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිස්සුගේ ජනතා ජාතික කොංග්‍රස් පක්ෂය (පී.එන්.සී) මාලදිවයින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.
මේ අනුව මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 86න් 66ක්ම දිනාගැනීමට ජනාධිපති මුයිස්සුගේ පක්ෂය සමත්ව ඇත. මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමිව ඇති ආසන සංඛ්‍යාව 15 කි. ජනාධිපති මොහොමඩ් මුයිස්සු චීනය සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යෑම ගැන පසුගිය සමයේ මතවාදී ගැටුමකටද මුහුණ පා සිටියේය. ඒ හේතුවෙන් ඉන්දියාවෙන් මාලදිවයිනට එල්ල වන බලපෑම් අඩු කිරීම සඳහා දැනට මාලදිවයිනේ සිටින ඉන්දීය හමුදා සම්පූර්ණයෙන්ම පිටත් කර යවන බවට ඔහු ප්‍රතිඥා දී තිබුණි. ඒ අනුව මාලදිවයිනේ ඡන්දදායකයන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ චීන හිතවාදී නැඹුරු වීමට සහ සාම්ප්‍රදායික මිතුරා වූ ඉන්දියාවෙන් ඈත්වීමට සහාය දක්වා ඇති බව පෙනී යයි.
පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් මුයිසු ජයග්‍රහණය කළේ චීනයට හිතවත් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් වෙනුවට ඉදිරිපත් වෙමිනි. ජනාධිපති අබ්දුල්ලා යමීන් දූෂණය සම්බන්ධයෙන් 11 වසරක සිර දඬුවමක් විඳි අතර පසුගිය සතියේ නිදහස් විය. ජනාධිපතිවරණය දිනා ගත්තද මුයිසුගේ PNC පක්ෂයට සහ එහි මිත්‍ර පාර්ශ්වයට පෙර පාර්ලිමේන්තුවේ හිමිව තිබුණේ ආසන අටක් පමණි. දැන් ඔහුගේ බලය තහවුරු වී හමාරය.