ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ ආසියානු සංචාරය ඇමෙරිකාව අවුස්සාලීමට සමත්ව තිබේ. ඉරාන ජනාධිපති පසුගිය සති මැද පාකිස්ථානයේ නිල සංචාරයක යෙදුණු අතර පාකිස්ථානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කරන්නටද කටයුතු කර තිබුණි. දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩි කිරීමටද ඉන් යෝජනා වී ඇත.
මෙම වසර මුලදී ඉරානය සහ පාකිස්ථානය ගැටුණු අතර ඉරාන ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා පාකිස්ථානයට පැමිණ තිබුණේ මේ ගැටුම නිරාකරණය කර දෙපාර්ශ්වය අතර අවබෝධතාව වර්ධනය කර ගනිමින් කලාපයේ සහයෝගීතාව තමන් වෙත දිනා ගැනීමටය. ඉරාන ජනාධිපතිවරයා කාශ්මීර ගැටලුව සුබවාදීව නිමා කර ගැනීමට පාකිස්ථානයට අනුබල දීමටද ඉදිරිපත්ව තිබුණි. මේ ගමන අවසන් වූයේ ඔහු ශ්‍රී ලංකාව තුළද නිල සංචාරයක යෙදීමෙනි. ඉරාන ජනාධිපති මේ සංචාරයන් සිදු කළේ සිය රට ඊශ්‍රායලය සමඟ දරුණු ගැටුමකට මුල පුරා තිබියදීය. කෙසේ වුවද ඔහුගේ මෙම ආසියා සංචාරය ඇමෙරිකාවේ සිත්ගෙන තිබුණේ නැත. ඒ අනුව ඉරානය සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තදබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ඒ අනතුරු ඇඟවීම මගින් තරවටු කර තිබුණේ ඉරානය සමඟ වෙළෙඳ ගනුදෙනු සිදු කරන රටවල්වලට සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටය.