2024 මාර්තු 30 වන සෙනසුරාදා

ගාසා යුද්ධයට ඇමෙරිකාවේ දැඩි විරෝධයක්!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ඇමෙරිකානුවන් බොහෝ දෙනකු ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යන යුද්ධයට විරුද්ධ බව නව මත විමසුමකින් හෙළි වී තිබේ. ඒ අනුව බදාදා නිකුත් කරන ලද Gallup මත විමසුම පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකානුවන් බොහෝමයක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධය අනුමත නොකරන බවය. මෙය යුද්ධය පිළිබඳ ඇමෙරිකානුවන්ගේ පෙර දැරූ මතවල ඇද වැටීමකි.

එක්සත් ජනපද වැඩිහිටියන් 1,016 ක් සමීක්ෂණයට ලක් කළ මේ මාසයේ සිදු කළ මෙම  මත විමසුමට අනුව ඇමෙරිකානුවන්ගෙන් සියයට 55ක් හෙවත් අඩකට වඩා තමන්  ගාසා තීරයේ ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියාමාර්ගය අනුමත නොකරන බව පවසා ඇති අතර සියයට 36ක් එය අනුමත කරන බව කියා ඇත. සියයට 9ක් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට අදහසක් නොමැති බවයි. ඒ අනුව මත විමසුම පෙන්නුම් කරන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අතර වැඩෙන අතෘප්තියයි. 

පසුගිය නොවැම්බරයේ සිදු කළ මෙබඳුම වූ Gallup මත විමසුමකින් හෙළි වූයේ ඇමෙරිකානුවන්ගෙන් සියයට 50ක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියා අනුමත කළ අතර සියයට 45ක් අනුමත නොකළ බවය. ඒ අතර සියයට 4ක් යුද්ධය ගැන තමන්ට අදහසක් නොමැති බව පවසා තිබුණි. 

රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මතවාදී ලෙස ඔවුනොවුන් හා බෙදී ගිය ද ඔවුන් අතර පොදුවේ යුද්ධය අනුමත කිරීමේ ආකල්පය ද පහත වැටී ඇති බව මත විමසුම් පෙන්වා දී තිබේ. 

නොවැම්බර් මාසයේ සිට යුදකාමී හැඟීම් පක්ෂ දෙකේම අනුගාමිකයන් අතර පහත වැටී ඇත. එකල රිපබ්ලිකානුවන්ගෙන් සියයට 71ක්ද ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් සියයට 36ක්ද ඊශ්‍රායලයේ ගාසා තීරයේ යුද්ධය අනුමත කරන බව පැවසූහ. නමුත් මාර්තු මත විමසුමට අනුව ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියාමාර්ග අනුමත කරන බව හෙළි වී ඇත්තේ  රිපබ්ලිකානුවන්ගෙන් සියයට 64ක් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් සියයට 18ක් පමණකි.

පසුගිය මාසයේ Pew පර් යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද සහ පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද තවත් මත විමසුමකින් හෙළි වූයේ යුද්ධය පිළිබඳ මතයන් ආගමික වශයෙන් ද බෙදී ඇති බවයි. ඇමෙරිකානු යුදෙව්වන්ගෙන් සියයට 62ක් ඊශ්‍රායලයේ යුද හැසිරීම පිළිගත හැකි බව පවසන අතර එය අනුමත කර ඇත්තේ ඇමෙරිකානු මුස්ලිම්වරුන්ගෙන් සියයට 5ක් පමණි.

මෑත සතිවල Biden පරිපාලනය ගාසා තීරයේ ඊශ්‍රායලයේ හැසිරීම ගැන කලකිරීමක් පෙන්වා තිබේ. ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටි යෝජනාවක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ඡන්දයට සහභාගිවීමෙන් එක්සත් ජනපදය සඳුදා වැළකී සිටියේය. මෙලෙස ඡන්දයෙන් එක්සත් ජනපදය වැළකී සිටීම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කෝපයට පත් කළේය. ඔහු ඊශ්‍රායල නිලධාරීන් වොෂින්ටනයට සැලසුම් කළ සංචාරයක් අවලංගු කළේය. එක්සත් ජනපදය සාමාන්‍යයෙන් ඊශ්‍රායලයට හිතකර නොවන ක්‍රියාමාර්ග නිෂේධ කිරීමට ක්‍රියා කරයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හටගත් යුද ගැටුම හේතුවෙන්, දැන් පලස්තීනුවන් 32,490කට වඩා මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ හමාස් සටන්කාමී කණ්ඩායමේ 1,200ක් පමණ මරා දමා ඇත. කුසගින්න සහ අවතැන් වීම  ඉහළ යමින් ඇති අතර ලෝකයම සටන් විරාමයකට යා යුතු යැයි බල කර සිටියි.