2024 මාර්තු 30 වන සෙනසුරාදා

පාලම් - නැව් අනතුරු හානිය මඬින්න වසර 2ක් පමණ යයිලු!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 87

ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කළ අඩි 984ක් වූ The Dali, නමැති භාණ්ඩ නෞකාව බැල්ටිමෝර් හි ෆ්‍රුන්සිස් ස්කොට් කී පාලම සමඟ ගැටීමත් සමඟ මුහුදට වැටුණු පිරිසෙන් දෙදෙනකු බදාදා වන විට හමුව තිබූ අතර ඉන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා විය. ඉතිරි 4 දෙනා සොයා මේ වන විට පරීක්ෂණ සිදු කෙරේ. ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජෙනිෆර් හෝමන්ඩි පවසන පරිදි ගැටුම පිළිබඳ විමර්ශනය වසර දෙකක් පමණ කාලයක් ගත විය හැකිය.

අතුරුදන් වූවන් ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයන් බවත්, ඔවුන් ගෝතමාලා, මෙක්සිකෝ, හොන්ඩුරස් සහ එල් සැල්වදෝර් රටවලින් සේවයට පැමිණි අය බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම නෞකාව ගමන් ආරම්භ කිරීමෙන් පසු කාර්මික දෝෂයකට ලක් වී ඇති බවය. අනතුරට මොහොතකට පෙර නෞකාවේ කපිතාන්වරයා ඒ බව සඳහන් කරමින් හදිසි ඇමතුමක් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

සිංගප්පූරු සමාගමකට අයත් මේ නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව ද වාර්තාගතය. එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 වසරේ සිට තවත් අනතුරු තුනකට ලක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාලමෙහි ගැටීමෙන් පසු නෞකාවේ අසුරා තිබූ බහාලුම් 13කට හානි සිදුවී ඇති අතර, ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට වූ සැකය මත මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් ද මතු වී ඇත. සැතපුම් 1.6 ක පාලම, “The Star-Spangled Banner” කව ලියූ කවියාගේ නමින් නම් කර ඇති අතර, එය නැගෙනහිර වෙරළ තීරයේ නැව්ගත කිරීමේ ප්‍රධාන මාර්ගය ඔස්සේ විහිදේ. ට්‍රක් රථ, ට්‍රුක්ටර් සහ ට්‍රේලර් වැනි විශේෂිත භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත වන එක්සත් ජනපදයේ විශාලතම වරායට පිවිසීමේ මාර්ගය ද එය ය.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00