2024 මාර්තු 23 වන සෙනසුරාදා

ගල්අඟුරු ලොක්කාගේ ලොව පිරිසුදුම බලශක්ති උද්‍යානය!

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

පැරිසිය මෙන් පස් ගුණයක් විශාල අභ්‍යවකාශයට ද දිස්වෙන සමස්ත ස්විට්සර්ලන්තයම බලගැන්වීමට තරම් විදුලිය නිපැයෙන ලොව ලොකුම පුනර්ජනනීය බලශක්ති උද්‍යානය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතී.

වඩාත් අපූරුම කාරණාව වන්නේ මෙම පිරිසිදු බලශක්ති බලාගාර ව්‍යාපෘතියේ භාරකරු ගල්අඟුරු වෙළෙඳාම මගින් ප්‍රකෝටිපතියෙක් වූ අයෙක් වීමය. බටහිර ඉන්දියාවේ මායිමේ ඇති නිසරු ලුණු කාන්තාරයක් පෘථිවියේ පිරිසිදු බලශක්තියේ වැදගත්ම ප්‍රභවයක් බවට පරිවර්තනය කිරීමේ මෙම Khavda පුනර්ජනනීය බලශක්ති උද්‍යානය නම් වූ මහා පරිමාණ ව්‍යාපෘතියට අත ගසා ඇත්තේ සාගර් අදානිය. ඔහු Adani Green Energy Limited (AGEL) හි විධායක අධ්‍යක්ෂකවරයා වන අතර ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානිගේ බෑණනුවන්ය. ගෞතම් අදානි ඉන්දියාවේ විශාලතම ගල්අඟුරු ආනයනකරු සහ වාතය අපිරිසිදු කරන  ඉන්ධන සඳහා වූ ප්‍රමුඛතම පතල් කැණීම්කරුය. ඔහු සිය වාර්තාගත ඩොලර් බිලියන 100 ක වත්කම උපයා ඇත්තේ 1988 දී ආරම්භ කරන ලද ගල්අඟුරු තෙල් කැණීම් මෙන්ම වරාය සහ තාප බලාගාරවල සිට මාධ්‍ය සහ සිමෙන්ති දක්වා පුළුල් ක්ෂේත්‍රවලට  විහිදුණු Adani සමූහ ව්‍යාපාරය මගිනි.

මේ වන විට එහි පිරිසිදු බලශක්ති ඒකකය AGEL විසින් බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 20 ක පමණ වියදමින් පැතිරුණු මෙම සූර්ය සහ සුළං බලාගාරය ඉදිකරමින් තිබේ. එය තවත් වසර පහකින් පමණ නිමවූ විට ලොව විශාලතම පුනර්ජනනීය උද්‍යානය වනු ඇති අතර ඉන්දියානු නිවාස මිලියන 16කට විදුලිය සැපයීමට අවශ්‍ය තරම් පිරිසිදු විදුලිය ජනනය කරනු ඇත. ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ සහ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය සහිත රටේ වර්ධනය වන ඉහළ බලශක්ති අවශ්‍යතාව සපුරාලන අතරම පරිසර දූෂණය අවම කිරීමට සහ එහි දේශගුණික ඉලක්ක කරා ළඟා වීමට ඉන්දියාවේ දරන උත්සාහයට Khavda පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ සාර්ථකත්වය ඉතා වැදගත් වනු ඇත. ඉන්දියාව නිපදවන විදුලියෙන් 70% ක් තවමත් ගල්අඟුරුවලින් සමන්විතය.