2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

පුටින්ට එරෙහි වූ ඇලෙක්සි නවාල්නිගේ මළසිරුරත් තාම නෑ!

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

පසුගිය සතියේ ලෝක ජනමාධ්‍ය කැළඹූ පුවත වූයේ දැඩිතර පූටින් විරෝධියකු ලෙස ප්‍රකටව සිටි රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි එරට බන්ධනාගාරයක් තුළදී අබිරහස් ලෙස මිය යාමේ සිද්ධියයි.

මේ වනතුරු ඇලෙක්සිගේ දේහය ආපසු ලබා දීමට කටයුතු කර නැති බවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ යුලියා නවල්නායා ඇතුළු ඥාතීහු චෝදනා කරති.

ඔහුගේ දේහය "රසායනික විශ්ලේෂණය" සඳහා රඳවාගෙන සිටින බවත් ඒ හෙයින්  ඔහුගේ දේහය සති දෙකක් යනතුරු නිදහස් නොකරන බවත් ඔහුගේ මව ඇතුළු පවුලේ අයට බලධාරීන් දන්වා ඇතැයි වාර්තා වේ.

ඔහුගේ බිරිය යුලියා නවල්නායා චෝදනා කර ඇත්තේ තම සැමියාගේ සිරුර තුළ ‘නොවිචොක් නම් ස්නායුකාරකය’ මගින් විෂ ශරීරගත වූ බවට ඇති සලකුණු අතුරුදන් වනතුරු තබා ඇති බවයි. මේ අතර මළසිරුර ඇති ස්ථානය පිළිබඳව රුසියානු බලධාරීන්ගෙන් කිසිදු තහවුරු කිරීමක් මේ දක්වා ලැබී නැත. “ඔහුව ගෞරවාන්විතව භූමදාන කිරීමට ඉඩ දෙන්න, ඔහුට සමුදෙන මිනිසුන්ට බාධා නොකරන්න,” යැයි යුලියා නවල්නායා ප්‍රසිද්ධියේ ඉල්ලා තිබුණි. 2020 දී මෙලෙසම වස භාවිත කර ඔහුව මරා දැමීමට ගත් උත්සාහයකින් නවාල්නි දිවි ගලවා ගත්තේය.

මේ අතර සිද්ධියට අදාළව එම බන්ධනාගාරය භාරව සිටි රුසියානු බන්ධනාගාර ප්‍රධානීන් හය දෙනකුගේ වත්කම් අත්හිටුවීමට එක්සත් රාජධානිය විසින් පියවර ගෙන තිබේ. නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් සම්බාධක පැනවූ පළමු රට බවට පත්වෙමින් එක්සත් රාජධානිය අදාළ බන්ධනාගාර ප්‍රධානීන්ට එංගලන්තයට ගමන් කිරීමට ද මේ තුළින් තහනම් කර ඇත. බටහිර නායකයන් පවසන්නේ නවාල්නිගේ මරණයේ වගකීම ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු රුසියානු බලධාරීන් වෙත පැවරෙන බවයි. නවාල්නිගේ මරණය සහ යුක්රේනයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව තමන්ගේම සම්බාධක පැකේජය සිකුරාදා එළිදක්වන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබුණි.