2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

විලියම් රාජකීය කටයුතු අරඹයි!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 170

තුන්වැනි චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන අතර මේ වන විට ප්‍රතිකාර ආරම්භ කර ඇත. 75 හැවිරිදි බ්‍රිතාන්‍ය රජතුමා පුරස්ථි ග්‍රන්ථිය සම්බන්ධ රෝගි තත්ත්වයකට ප්‍රතිකාර සඳහා යොමු වූ විට මේ පිළිකාව ගැන හඳුනාගෙන තිබේ. පිළිකාව කෙතරම් බරපතළද යන්න හෝ රජතුමාට ලැබෙන ප්‍රතිකාර ගැන මාලිගාව ප්‍රකාශ කර නැත. නමුත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බව රාජකීය මූලාශ්‍ර සඳහන් කර ඇත.

ඔහුගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි, රජු ප්‍රතිකාර ලබා ගන්නා බැවින් ඔහුගේ පොදු කටයුතු කල් දමන නමුත් අගමැති හමුව, ප්‍රිවි කවුන්සිල රුස්වීම් වැනි රාජ්‍ය රාජකාරි මෙන්ම රාජ්‍ය ව්‍යාපාර සහ නිල ලේඛන කටයුතු දිගටම කරගෙන යන බව මාලිගය පැවසීය. කෙසේ වුවද රජු අඟහරුවාදා ඔහුගේ පුත් හැරී කුමරු සහ ලේලිය වන බියට්‍රිස් කුමරියගේ සංචාරයෙන් පසු නැගෙනහිර එංගලන්තයේ නොර්ෆොක්හි රාජකීය පවුලේ පෞද්ගලික ගම්මානය වන සැන්ඩ්‍රින්හැම් හි නිවෙසට ගියේය.

මේ අතර රාජ්‍ය අනුප්‍රාප්තිකයා වන විලියම් කුමරු කරළියට පැමිණි තිබේ. ඔහු පසුගිය මාසයේ ඔහුගේ බිරිඳ කැතරින් සැත්කමකට භාජනය කිරීමෙන් පසු පළමු වරට ඉකුත් බදාදා නැවත මහජන රාජකාරියට පැමිණියේය. ඇයගේ ශල්‍යකර්මයද කුමක් සඳහාද යන්න පැහැදිලි නැත. නමුත් රාජකීය මූලාශ්‍රයක් පැවසුවේ 42 හැවිරිදි ඇයගේ තත්ත්වයද  පිළිකාවක් නොවන බවයි. විලියම් තමන් රාජකීය කටයුතු කිහිපයක් නැවත ආරම්භ කරන බව නිවේදනය කළේ රජුගේ පිළිකා රෝගය විනිශ්චයට පැය කිහිපයකට පෙරය. වේල්ස් කුමරුට සමීප මූලාශ්‍රයකට අනුව විලියම් ඔහුගේ පියා සමඟ නිරන්තර සම්බන්ධකම් පවත්වයි. විලියම් කුමරු මේ අනුව රජුගේ රාජකාරි කටයුතු ආවරණය සඳහා කඩිනමින්ම මූලිකත්වය ගෙන තිබේ. ඔටුන්න සඳහා වන සිය ඉදිරි වගකීම් දැරීමට පෙර පුහුණුවක් හැටියටය. 

ඒ අනුව විලියම්ගේ පළමු ප්‍රසිද්ධ සහභාගිත්වය වින්ඩ්සර් කාසල් හි පැවැති උත්සවයකි. පසුව බදාදා, ඔහු අනුග්‍රාහකයකු වන ලන්ඩන් එයාර් ගිලන් රථ පුණ්‍යායතනය සඳහා පුණ්‍ය උත්සවයකට සහභාගී වූ අතර කාර්ය මණ්ඩල සාමාජිකයන්, පුණ්‍යායතනයේ ආධාරකරුවන් සහ හිටපු රෝගීන් හමුවිය.

මේ අතර හැරී කුමරුද අඟහරුවාදා එක්සත් රාජධානියට පැමිණියේ රෝග විනිශ්චය කිරීමෙන් පසුව ඔහුගේ පියා බැලීමටය. 2020 දී රාජකීය රාජකාරිවලින් ඉවත් වූ හැරී  ආදිපාදවරයා, මැයි මාසයේ රාජාභිෂේකයෙන් පසු ඔහුගේ පියා හමුවට පැමිණි මුල්ම අවස්ථාවයි මේ.