ඔබ දැනටමත් ව්ලැඩිමීර් පුටින් ගැන ඕනෑ තරම් දේ අසා ඇත. ඒ සියල්ලම ආන්දෝලනාත්මක කතාය. ඔහු පිළිබඳ අලුත්ම ආරංචිය ද පුදුම සහගතය. ඒ ලොව ධනවත්ම දේශපාලනඥයා ලෙස ව්ලැඩිමීර් පුටින්ගේ නම වාර්තා වීමත් සමඟිනි.
සෝවියට් සංගමයේ පාලනය පැවැති සමයේ උපත ලැබූ ඔහු වත්මන් නවීන රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. සෙල්ලක්කාරයකු මෙන්ම ධනපතියකු හැටියටද ඔහු ප්‍රසිද්ධය. ඔහු එරට හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ අතර ලෝකයේ වඩාත්ම බලගතු පෞරුෂයක් ලෙස දැන් සැලකේ. 2022 වන විට, ඔහුට දළ වශයෙන් ඩොලර් බිලියන 70 ක ශුද්ධ වත්කමක් තිබී ඇති අතර දැන් එය ඩොලර් බිලියන 200ක් ලෙස වාර්තා වේ. එය ඔහු ලෝකයේ ශක්තිමත්ම සහ ධනවත්ම දේශපාලනඥයා බවට පත් කර හමාරය.
ලොව ධනවත්ම දේශපාලනඥයාගේ තනතුර හිමිව ඇති නමුදු පුටින්ගේ නිල වැටුප වාර්ෂිකව ඩොලර් 140,000 කට ආසන්නය. ඔහු තමන් සතු වර්ග අඩි 800ක මහල් නිවසක, ට්‍රේලරයක සහ මෝටර් රථ තුනක හිමිකාරිත්වය පිළිගනියි.
නමුත් ඔහුගේ අබිරහස් වත්කම් - සම්පත් ගැන නොනවතින කටකතා රැසක් පසුගිය කාලයේ එළිදැක ඇත. ඉන් වඩාත් ප්‍රකට කළු මුහුද ආසන්නයේ ප්‍රපාතයක් මත පිහිටා ඇති මහා මන්දිරයයි. එහි ග්‍රීක ප්‍රතිමා සහිත කිරිගරුඬ පිහිනුම් තටාකයක්, ඇම්ෆිතියේටරයක්ද පවතී. අති නවීන අයිස් හොකී පිටියක්, වේගාස් විලාසිතාවේ රාත්‍රී කැසිනෝ සමාජ ශාලාවක්ද වේ. එහි ශ්‍රේෂ්ඨත්වය පවත්වා ගැනීමට පුද්ගලයන් 40 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඕනෑ කරන අතර ඩොලර් මිලියන 2ක වාර්ෂික වියදමක් ද වැය වේ.
ඩොලර් 54,000 ක බාර් මේසයක් ඇතුළු ඩොලර් 500,000 ක් වටිනා ගෘහ භාණ්ඩ මේ සුඛෝපභෝගී මන්දිරය අභ්‍යන්තරයේ ඇත. එහි ඇති වැසිකිලි කඩදාසි රඳවනයක් පමණක් ඩොලර් 1,250 කි. ඉතාලි වැසිකිලි බුරුසු ඩොලර් 850 ක් වටී.
“The Flying Kremlin” නමැති ඔහුගේ යෝධ නිල ගුවන් යානය ඩොලර් මිලියන 716 කි. ඔහුට ඩොලර් මිලියන 700ක් වටිනා Scheherazade නම් මෙගා යාත්‍රාවක්ද හිමිය. ඩොලර් 60,000 ක පමණ වටිනාකමකින් යුත් Patek Philippe, Perpetual Calendar සහ ඩොලර් 500,000ක් පමණ වන A. Lage and Shone Tourbograph ඇතුළු පුටින්ගේ සුඛෝපභෝගී ඔරලෝසු එකතුවම, ඔහුගේ සුඛෝපභොගි ජීවන රටාවට කදිම නිදසුනකි. මෙම ඔරලෝසු සඳහා පමණක් ඔහුගේ නිල වශයෙන් ප්‍රකාශිත වාර්ෂික වැටුප මෙන් හය ගුණයක් පමණ වැය වනු ඇත.
මේ අතර තවත් නිවාස 19 ක්, මෝටර් රථ 700 ක්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් 58 ක් පුටින්ගේ නිල නොවන අතිරික්ත සම්පත් ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වී තිබේ.