පැය 24ක් ඇතුළත ඉරාන හමුදාව රටවල් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. ඉරාකයට, සිරියාවට සහ පාකිස්ථානයේ බලුකිස්ථානයට මේ ප්‍රහාර මාලාව එල්ල විය.
ඉකුත් සඳුදා මැදියම් රැයේදී උතුරු ඉරාකයේ පිහිටි ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ඒකකයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරාන හමුදාව ඊට පැය කිහිපයකට පසු සිරියාවේ අයි.එස්. ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි. ඉන්පසු පාකිස්ථාන් බලුකිස්ථානයේ ගම්මානයකට ඉරාන හමුදාව තවත් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඉරාකයට එල්ල කළ ප්‍රහාරයෙන් එර්බිල් නුවර අමෙරිකානු කොන්සියුලර් කාර්යාලය අසල පිහිටි ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශයේ ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ඇති අතර, ඒ සඳහා බැලැස්ටික් මිසයිල 11 ක් භාවිත කර ඇත. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් සිව්දෙනකු මිය ගිය බව වාර්තා විය. පසුව අයි.එස්. ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් උතුරු සිරියාවට එල්ල වූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ඒ අතර, ඉරානයේ පසුගිය කාලය තුළ බෝම්බ පිපිරීම් රැසකට සම්බන්ධ බවට සැක කරන ජයිෂ් අල් ආඩ්ල් ත්‍රස්ත සංවිධානය ඉලක්ක කරමින් බලුකිස්ථානයේ ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් දැරියන් තිදෙනකු තුවාල ලැබූ බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි පාකිස්ථානය ඉරාන හමුදාව සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හෙළා දකින බව ප්‍රකාශ කර තිබුණි. ඇමෙරිකාව ද එම ප්‍රහාර හෙළා දකින බව ප්‍රකාශ කර ඇත.