2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ඉන්දීව පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්!

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ මන්ත්‍රීවරුන්ගේ සැසිවාරය අතරතුරේ දී පුද්ගලයන් දෙදෙනකු ඉන්දීය පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ඇතුළු වී, සටන් පාඨ කීයමින්, වර්ණ ගැන්වූ දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ   පාර්ලිමේන්තුව තුළ අවුල්සහගත තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තුවෙන් පිටත දී වර්ණ ගෑස් සහිත දුම් බෝම්බ කැනිස්ටර් විවෘත කර විරෝධතාවේ යෙදීම හේතුවෙන් තවත් දෙදෙනෙක් ද (පිරිමියකු සහ කාන්තාවක) අත්අඩංගුවට පත්වූහ. ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් යටත් කරගෙන ඉවතට රැගෙන ගිය අතර දුම් බෝම්බ රුගත් මේ දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාව මැද, කතානායක ආසනයට ඉදිරියේ ඇති හිස් ඉඩට පැන ආ බව මන්ත්‍රීවරු මාධ්‍යයට  පැවසූහ.  කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ති චිදම්බරම්, සභාව ඇමතීම සඳහා ඔහුගේ වාරය එන තෙක් බලා සිටිය දී මෙම කැළඹිලිසහගත තත්ත්වය ඇතිවූ බව පැවසුවේය.

"එක සැරේට පෙනුණෙ මනුස්සයෙක් අමුත්තන්ගෙ ගැලරියෙ ඉඳන් වැටුණ වගෙ. ඊටපස්සෙ අපට තේරුණා මේ කෙනා හිතාමතාම තමයි සභාවට පැනලා තියෙන්නේ කියලා. තවත් මනුස්සයෙක් හිටියා, ඒ දෙන්නම කහ පාට දුමක් එන (ගෑස්) කැනිස්ටර් එළියට ගත්තා,” ඔහු පැවසුවේය. "මිනිස්සු දෙන්නෙක් මහජන ගැලරියෙ ඉඳන් පැන්නා. දුමකුත් ආවා. හැමතැනම කලබලයක් තිබුණේ. ආරක්ෂක නිලධාරීන් ඒ දෙන්නවම යටත් කර ගත්තා,” මන්ත්‍රී ධානිෂ් අලී පාර්ලිමේන්තුවෙන් පිටත දී වාර්තාකරුවන්ට පැවසීය.

මෙයින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තුවාල සිදුවූයේ නැත. පස්වරු 1 ට පමණ සිදු වූ මෙම සිද්ධිය වන විට අගමැති නරේන්ද්‍ර මෝදි ලෝක් සභාවට පැමිණ සිටියේ නැත. වහාම සභාව පස්වරු 2 දක්වාත් පසුව ඉන් පසුදා දක්වාත් කල් තැබිණි.

පාර්ලිමේන්තු ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. අනවසරයෙන් ඇතුළු වූ එක් අයකු මන්ත්‍රීවරුන් විසින් අල්ලා ගැනීමෙන් පසුව භාර දී තිබුණි. මේ දෙදෙනා ලක්නව්හි සාගර් ෂර්මා (25) සහ මයිසූර්හි මනෝරංජන් ඩී (35) ලෙස දිල්ලි පොලීසිය හඳුනාගෙන ඇත.

මෙම කඩාවැදීම සිදුවූයේ 2001 ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය දා ය. එදා එම සිදුවීමේ දී ප්‍රහාරකයෝ පස් දෙනෙක් ද ඇතුළු 14 දෙනෙක් මිය ගියහ.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයන් එදා එම ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උපහාර පුද කිරීමට මෙදින හවස් වරුවේ කටයුතු කර තිබුණි

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00