2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඊශ්‍රායලයට එරෙහිව ගුටරෙස් වේවැල ගනියි!

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 112

දුර්ලභ පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් "මානුෂීය ව්‍යසනයක්" වැළැක්වීම සඳහා "එහි සියලු බලපෑම් භාවිත කරන" ලෙස 15 දෙනකුගෙන් යුත් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමෙන් පසුව ගාසා තීරයේ යුද්ධය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා රුස්විය.

2017 දී මහලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු ගුටේරෙස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව” තර්ජනයට ලක්වන ඕනෑම කරැණක් ආරක්ෂක මණ්ඩලයට ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ නායකයාට මෙම රීතිය ඉඩ දෙයි. ගුටරෙස් බදාදා "මානුෂීය සටන් විරාමයක්" සඳහා වූ ඔහුගේ ඉල්ලීම ද නැවත නැවතත් ඉදිරිපත් කළේය.

හමාස් පාලනය යටතේ පවතින ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීනුවන් 16,200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) පවසන පරිදි දෙසැම්බර් 1 වැනි දින ඊශ්‍රායලය සහ හමාස් අතර දින හතක සටන් විරාමය අවසන් වීමෙන් පසු ඒ තුළ දැනටමත් සැලකිය යුතු ලෙස මානුෂීය තත්ත්වයන් නරක අතට හැරී ඇත.

අඟහරැවාදා සිට මානුෂීය සැපයුම් සහ ඉන්ධන රැගත් ආධාර ට්‍රක් රථ දුසිම් ගණනක් ඊජිප්තුව හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති අතර, ට්‍රක් රථ හිඟය සන්නිවේදන අවහිරතා සහ සතුරුකම්, ඇතුළු  සාධක කිහිපයක් නිසා "එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබෙන ආධාර තොග ලබාගැනීමේ හැකියාව පසුගිය දින තුන තුළ සැලකිය යුතු ලෙස අඩාල වී ඇත. පසුව ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී ඇති ඉන්ධන රථ ප්‍රමාණය වැඩි කිරීමට ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය බදාදා අනුමත කළේය.