2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

වායු දූෂණයෙන් දිල්ලි-පාකිස්තාන් පාසල් වැසේ!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

වැඩිවන වායු දූෂණයෙන් නිවැසියන් ආරක්ෂා කිරීමේ පියවර මාලාවක නවතම පියවරක් හැටියට නවදිල්ලි රජය ඉන්දියාවේ අගනුවර පාසල් දිගු කලක් වසා දමා ඇත. ඒ අනුව දිල්ලි නගරයේ පාසල් බ්‍රහස්පතින්දා සිට නොවැම්බර් 18 දක්වා වසා තබනු ඇත. අසල්වැසි පාකිස්තානය ද දින හතරක පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත. මේ රටවල් දෙක තුළම පරිසරයේ වායු දූෂණය භයානක මට්ටමකට ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මිලියන 20 කට වැඩි ජනගහනයක් සිටින මෙම ලොව වඩාත්ම දූෂිත නගරය, ඉහළ යන පරිසර දූෂණය මැඩපැවැත්වීම සඳහා ලබන සතියේ වාහන භාවිතය සීමා කරන බව නිවේදනය කර ඇත. දුමාරයෙන් සහ වර්ධනය වන වායු දූෂණයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීමේ පියවරවල කොටසක් ලෙස නගරයේ ප්‍රාථමික පාසල් කලින්ම වසා දමා තිබුණි. රජය ඉදිකිරීම් කටයුතු ද නතර කර ඇත. අඟහරුවාදා, රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නවදිල්ලිය අවට ප්‍රාන්තවලට ගොවීන්ට බෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමීම නතර කරන ලෙස නියෝග කළේය. 

දිල්ලි නගරයේ වායු තත්ත්ව මට්ටම මෙම සතිය මුලදී වායු තත්ත්ව දර්ශකයේ 400 පරාසයට පැමිණ තිබූ අතර එය ස්විට්සර්ලන්ත කණ්ඩායමක් වන IQAir විසින් "අනතුරුදායක" ලෙස වර්ගීකරණය කර ඇත.

පකිස්තානයේ, අගනුවර වන ලාහෝර් දුමාරය නිසා දූෂීතම වාතය සහිත ලොව නරකම නගරවලින් එකක් බවට පත්ව තිබේ. මිලියන 110 ට වැඩි පිරිසක් සිටින රටේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ්හි පාසල් සහ වෙළෙඳපොළවල් නොවැම්බර් 9 සිට 12 දක්වා දින හතරක් වසා දැමීමට රජය තීරණය කර ඇත.