2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

චාල්ස් රජුට එරෙහි හඬ පට හුටපටයක්!

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 137

චාල්ස් රජු නැවතත් ලෝක මාධ්‍ය අවධානයට ලක්ව තිබේ. ඔහුගේ පුණ්‍යායතනයකට කළ පරිත්‍යාගයක් ගැන එළිදුටු හඬ - පට  හුටපටයක් සම්බන්ධයෙනි. 

චාල්ස් රජු පුණ්‍යායතන කිහිපයක අනුග්‍රාහකයාය. ඔහු වේල්ස් කුමරුව සිටියදී තරුණ පරම්පරාවට ජීවිතයේ හොඳ ආරම්භයක් ලබාගැනීමට උපකාර කිරීම සඳහා ඇරුඹූ ‘'ද ප්‍රින්ස් ට්‍රස්ට්' භාරයට ඔස්ට්‍රේලියානු ප්‍රකෝටිපතියකු වන ඇන්තනි ප්‍රට් සිදු කළ ප්‍රධාන පරිත්‍යාගයක් සහ එයට බලපෑ හේතු ගැන සැක සහිත තොරතුරු හෙළිවීමෙන් පසු මේ මාධ්‍ය ආන්දෝලනය මතුව තිබේ.

මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මෙහෙයවන ලද ඒකාබද්ධ විමර්ශනයකින් පසු ඔස්ට්‍රේලියානු ප්‍රකෝටිපතියා ඔහුගේ පරිත්‍යාගය සහ චාල්ස් රජු පිළිබඳ කතා කරන හඬපටයක් අනාවරණය කරගෙන ඇත. රහස් හඬ පට තුළ ඇන්තනි ප්‍රුට් ප්‍රකාශ කර ඇත්තේ මාලිගාවේ සහායකයකු පුණ්‍යායතනවලින් පිටත චාල්ස් වෙත කෙළින්ම මුදල් පරිත්‍යාග කිරීම නතර කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

වාර්තාවන්ට අනුව චාල්ස් රජුගේ පුණ්‍යායතනයන්ට ලද පරිත්‍යාගයක් ගැන මාධ්‍ය ප්‍රශ්න මතු කළ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර භාරයේ හිටපු ප්‍රධාන විධායක මයිකල් ෆෝසෙට් නයිට් පදවියක් සහ පුරවැසිභාවයක් ලබා දීම සඳහා සෞදි ධන කුවේරයකුගෙන් පුණ්‍යායතනයට පරිත්‍යාගයක් භාරගෙන ඇති බවට ආන්දෝලනයක් කලකට පෙර මතුවිය. මතු ලාභ ප්‍රයෝජන හෝ විශේෂ ගෞරව සැලකිලි බලාපොරොත්තුවෙන් ඔවුන් කළ මේ පරිත්‍යාගයන් සඳහා පෙළඹවීමට සිය රාජකීයත්වය යොදාගැනීම ගැන මාධ්‍ය ප්‍රශ්න කර ඇත. "ගෞරව සඳහා මුදල්" ලබාදීමේ මේ  අපකීර්තිමත් සිද්ධිය එක්සත් රාජධානියේ පොලිසිය විසින් විමර්ශනය කරන ලද නමුත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර නඩුව අවසන් කර තිබුණි.