2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

යුක්රේන දරුවන්ගේ මොළ සෝදන රුසියානු කඳවුරු!

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 144

යුක්රේන යුද්ධයේ තීරය පසුපස සැඟවුණු මහා ඛේදවාචකයක් ගැන නවතම වාර්තාවක් එළිදැක තිබේ. ඒ යුක්රේන දරුවන් පැහැරගෙන බලහත්කාරයෙන් කඳවුරුගත කර රුසියානු ලැදි අධ්‍යාපනයකට සහ හමුදාමය පුහුණුවකට යොමුකර මොළ ශෝධනයකට ලක්කර ඇති බවට වන වාර්තාවකි. 

යේල් මානුෂීය පර් යේෂණ විද්‍යාගාරය සමඟ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහාය දක්වන ලද වැඩසටහනක් වන ගැටුම් නිරීක්ෂණාගාරය මගින් යුක්රේන දරුවන්ට එරෙහි රුසියාවේ අපරාධ පිළිබඳ පිටු 35ක මේ ඇඟ කිළිපොලා යන තතු ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර ඇත. 

2023 ජූලි 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක, රුසියානු ළමා කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවා කියා තිබුණේ යුද්ධයේ ආරම්භයේ සිට යුක්රේනියානු ළමුන් 700,000කට වැඩි පිරිසක් යුක්රේනයේ සිට රුසියාවට ගෙන ගොස් ඇති බවයි.  රුසියාවේ මේ ක්‍රියාව යුද අපරාධයක් ලෙස සැලකේ. මේ හේතුවෙන් 2023 මාර්තු 17 වැනි දින ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පවා නිකුත් කරනු ලැබීය.

යුක්රේන ළමුන් මෙම රුසියානු මොළ ශෝධන කඳවුරුවලට සහ බලහත්කාරයෙන් දරුකමට හදාගැනීමට මෙන්ම හමුදා පුහුණුව සඳහා වූ ආයතන වෙතද ගෙන ගොස් ඇති බව මේ නවතම වාර්තාවේ සඳහන් වේ. "යුක්රේන දරුවන් නැවත අධ්‍යාපනය සහ දරුකමට හදාගැනීම සඳහා රුසියාවේ ක්‍රමානුකූල වැඩසටහන" යන මාතෘකාව යටතේ ඇති වාර්තාවේ කතුවරුන් ලියා ඇත්තේ යුක්රේන ළමුන් සඳහා වූ මෙම කඳවුරුවලින් 75% ක්ම "රුසියාව කේන්ද්‍ර කරගත් එහි පාලනයට ලැදි ශාස්ත්‍රීය, සංස්කෘතික, දේශප්‍රේමී සහ/හෝ හමුදා අධ්‍යාපනයට ළමුන් ගොදුරු කරන බවයි. වාර්තාවට අනුව, මේ මධ්‍යස්ථානයකින් හමුවූ බාලම දරුවාගේ වයස මාස හතරක් වන අතර, හමුදා පුහුණු කඳවුරුවල සිටි බාලම දරුවන්ගේ වයස අවුරුදු දාහතරකි. මෙබඳු මධ්‍යස්ථාන 43කට වඩා ඇති බව ඔවුහු කියති. ගිනිඅවි සහ හමුදා වාහන භාවිතය සම්බන්ධයෙන් ළමුන් පුහුණු කිරීම සඳහා වූ චෙච්නියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු දෙකක් සම්බන්ධයෙන්ද තතු වාර්තා වේ.

වොෂින්ටනයේ රුසියානු තානාපති කාර්යාලය වාර්තාවේ විස්තර කර ඇති අදහස් පිළිගත නොහැකි "විකාර" ලෙස හැඳින්වීය. මෙම සියලු යුක්රේන දරුවන් රුසියාවට පැමිණියේ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ඥාතීන්ගේ ප්‍රකාශිත කැමැත්ත නිසා බවද රුසියානු රජය අවධාරණය කර ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00