2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

නඩු පිට නඩු මැද ට්‍රම්ප් ඉදිරියටම!

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් තවත් නඩුවක් පැටලී තිබේ. ඒ 2020 මැතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිය මැතිවරණ පරාජය අවලංගු කිරීමට උත්සාහ කළ බවටය. ඒ අනුව මෙම අග්නිදිග එක්සත් ජනපද ප්‍රාන්තයේ මැතිවරණ ඇඟිලි ගැසීම් සම්බන්ධව වූ චෝදනාව හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි සිව්වැනි නඩුවයි.

මෙය හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවරා ඇති අනෙක් නඩු අතර 2020 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වූ ෆෙඩරල් චෝදනා පත්‍රයක්ද; ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වූ පසු රජයේ රහස් ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කළ බවට ඔහුට චෝදනා එල්ල වන ෆෙඩරල් රහස්‍ය ලේඛන නඩුවක්ද; සහ වැඩිහිටි චිත්‍රපට තරුවකට රහසේ ගෙවූ මුදල් සම්බන්ධ නිව් යෝක් නඩුවක්ද වේ.

මෙවර පිටු 98 කින් සහ චෝදනා 41කින් යුත් අධි චෝදනා පත්‍රයේ ට්‍රම්ප්, ඔහුගේ ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මීඩෝස්, ට්‍රම්ප් නීතිඥ සහ හිටපු නිව් යෝක් නගරාධිපති Rudy Giuliani සහ නීතිඥ ජෝන් ඊස්ට්මන් ඇතුළු විත්තිකරුවන් 19 දෙනකු ලැයිස්තුගත කර ඇත. 

ලෝකයම බලා සිටිනුයේ ට්‍රම්ප් මේ නව නඩු හුටපටයට කෙසේ මුහුණ දෙනු ඇතිද කියාය. 2024 ජනාධිපති අපේක්ෂකත්වය අතරමැද ට්‍රම්ප්ට එරෙහිව එන මේ නීතිමය බාධක ඔහු සිය ජනප්‍රියභාවය නංවන තුරුම්පු ලෙස භාවිත කරමින් සිටියි. මේ නඩුව සම්බන්ධයෙන්ද ඔහුගේ ක්‍රියා කලාපය එසේ වනු ඇතැයි විචාරකයන් පෙන්වා දී තිබේ.

ෆුල්ටන් ප්‍රාන්තයේ මහා ජූරි සභාවක් ඉකුත් සඳුදා අධි චෝදනා පත්‍රය නිකුත් කිරීමෙන් පසු, උසාවියේදී චෝදනා පිළිබඳ විධිමත් කියවීමක් සිදු කෙරුණු අතර, විත්තිකරුවන්ට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබුණි. මේ සම්බන්ධයෙන් ට‍්‍රම්ප්ගේ නීතිඥවරයාට උසාවියෙන් නඩු පැවරීම අත්හැරීමට ඉල්ලා සිටිය හැකි අතර, ඔහුට උසාවියට පැමිණීමකින් තොරව නිවැරුදිකරුවකු බවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව ඇපද තීරණය වනු ඇත. ට්‍රම්ප් නඩු ඇදගෙන යාමට උසාවි භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර, නඩුවේ නව නීතිමය ප්‍රශ්න නිසා මතුව ඇති පෙර නොවූ විරූ ස්වභාවය හේතුවෙන් මේ නඩු පැවරීම මන්දගාමී විය හැකිය.

නීති විශාරදයන් පවසා ඇත්තේ ලබන වසරේ මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත වන බැවින් මෙම ප්‍රමාදය හිටපු ජනාධිපතිවරයාට වාසිදායක විය හැකි බවයි.

2020 දී Biden සියයට 73 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ෆුල්ටන් ප්‍රාන්තයෙන් නඩු විභාගය පිටතට ගෙන යාමට ඔහු උත්සාහ කළ හැකිය, එහි ජූරි සංචිතය ඔහුට එරෙහිව පක්ෂග්‍රාහීව ක්‍රියා කරනු ඇතිය යන තර්කය මත මේ අවස්ථාව උදාකර ගැනීමට හැකිය. ඔහු වරදකරු කිරීමට නම් 12 දෙනකුගෙන් යුත් ජූරි සභාවක් ට්‍රම්ප් වැරදිකරු බවට සාධාරණ සැකයකින් ඔබ්බට එකඟ විය යුතුය. ජූරි සභාවට ඒකමතික තීන්දුවක් ලබාගත නොහැකි නම් විනිසුරුවරයාට මෙය වැරදි මගක ගිය විභාගයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. ට්‍රම්ප් වරදකරු කරනු ලැබුවහොත්, ඔහු තීන්දුව සාක්ෂි සමඟ නොගැලපෙන හෝ නීතියට පටහැණි බව පවසමින් අභියාචනා කිරීමට හෝ නව නඩු විභාගයක් ඉල්ලා සිටීමටද ඉඩ ඇත.

සමාජ මාධ්‍ය හරහා මෙම නඩු පැවරීම් තුළ ඇති දේශපාලන පක්ෂග්‍රාහීත්වය පිළිබඳ  ඔහු විසින් දැනටමත් කර ඇති චෝදනා නිසා ඔහු ජනතා අනුකම්පාව දිනා ගනිමින් තමන් වටා ඡන්දදායකයන් ගොනු කර ගැනීමට සමත්ව ඇත. මේ නඩු පිට නඩු රුල්ල  නිසාම 2024 ඇමෙරිකා ජනපතිවරණයේ ජය සඳහා ට්‍රම්ප් සතු තුරුම්පු ඉහළ ගොස් හමාරය.