ත්‍රිත්ව බයිපාස් සැත්කම්වලට ලක්ව දීර්ඝතම කාලයක් දිවි ගලවාගත් හෘද රෝගියා බවට 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පත්ව ඇත. ගිනස් ලෝක වාර්තාවට (GWR) අනුව මේ විස්කම් සැත්කම්වලට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික කොලින් හැන්කොක් නමැත්තෙකි.
ගිනස් සංවිධානය නිකුත්කළ නිවේදනයක් අනුව ඔහු නිල වශයෙන් ලොව දීර්ඝතම ත්‍රිත්ව හෘද බයිපාස් සැත්කම්වලට ලක්වූ රෝගියා (පිරිමි) වේ. 2023 අගෝස්තු 4 වැනි දින වනවිට ඔහුගේ අවසන් සැත්කමෙන් පසු අවුරැදු 47 යි දින 361 ක් සනිටුහන් කළ හැන්කොක් මෙම ලෝක වාර්තාව නිල වශයෙන් අත්පත් කර ගත්තේය. හැන්කොක්ට ඔහුගේ පපුවේ වේදනාව දැනෙන විට වයස අවුරුදු 30ක් වූ අතර, ඉන්පසුව, වසරක් ඇතුළත ඔහු ත්‍රිත්ව හෘද බයිපාස් සැත්කමකට භාජනය විය.
සැත්කම සාර්ථක වුවද, ඔහු කොපමණ කාලයක් ජීවත් වේද යන්න අවිනිශ්චිතව පැවති අතර, ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔහුට හෘදයාබාධ සමඟ කටයුතු කරන්නට සිදුවන බව ඔහුට දන්වන ලදී. පසුව ඔහු වසර 47ක් සහ දින 361ක් ද පන්නා ජීවිතය රැක ගැනීමට සමත්ව තිබුණේ කලින් තිබූ වාර්තාවක් පසුකරමිනි. දැන් 77 වැනි වියේ පසුවන හැන්කොක් තවමත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින් සිටියි. පෙර වාර්තාව අයත් වූයේ 2015 දී ඔහුගේ සැත්කමෙන් වසර 41 සහ දින 63කට පසු වයස අවුරුදු 90දී මියගිය ඩෙල්බට් ඩේල් මැක්බී නමැති ඇමරිකානුවාය.