ශ්‍රී ලංකාවේ උපන් නවසීලන්තයේ දකුණු ඔටාගෝ හි සිසුවෙක් වන කලයා කන්දේගොඩගමගේ දී රළ පහරකින් තම බාල සොහොයුරා වීරෝදාර ලෙස මුදාගැනීමෙන් පසු මවුන්ට්බැටන් පදක්කමක් දිනූ ලාබාලතමයා බවට පත් විය. මිල්ටන්හි ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ රැස්වීමකදී ඔහුගේ නිර්භීතකම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මවුන්ට්බැටන් පදක්කම පිරිනමන ලදී.
පසුගිය වසරේ අගෝස්තු 27 වැනිදා එවකට 13 හැවිරිදි කල්යා තම 11 හැවිරිදි සොහොයුරා වන කිත්මි සමඟ ක්‍රිස්ටල්ස් වෙරළ තීරය අද්දර රළ පදිමින් සිටියදී පැමිණි විශාල රළ පහරකින් ඔහුගේ බාල සොහොයුරා ගසාගෙන ගිය අතර තවත් විශාල රළ දෙකක් ඔහුව වතුරට ඇද දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කිත්මි ද දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් වුවද ඔහු නැවත පිහිනා එන්නට උත්සාහ කළද, එය අසාර්ථක වූ අතර දිගටම වෙරළෙන් ඔබ්බට ඇදී ගියේය. එවිට ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ කල්යා ඔවුන්ගේ මව දෙසට හැරී මෙසේ කියා ඇත : ‘හරි අම්මේ, මම යනවා. මම නැවත නොඑන්න පුළුවන්.” කල්යාට අනුව ඉක්මන් පිමි කිහිපයකින් දැඩි සීතල රළ පහරට ඇතුළු වීමට හැකිව ඇති අතර, වෙරළේ සිට මීටර් 60 ක් පමණ දුරින් සිටි තම සහෝදරයා වෙත ළඟා වීමේදී ඔහු බිය නොවී සිටියද අන්තිමේ ඔහු වෙත ළඟා වූ විට දෙදෙනාට ආපසු යාමට ඇති දුර ගැන බියට පත් වී ඇත.
ඔහුට සිතුණේ තමන් සහ සිය සහෝදරයා නැවත වෙරළට නොපැමිණෙනු ඇතැයි කියාය. ඒ නිසාම ඔවුන් එසේ දිවි බේරාගෙන පැමිණි කල තමන් තදින් සීතලට හා වෙහෙසට පත් වී සිටියද මහත් සතුටට පත්වූ බව ඔහු කියයි. එදා ඔවුන් දෙදෙනා මිය නොගිය එක ගැන සතුටු වුවද මේ දෙදෙනාම ඔවුන් ලද මේ අත්දැකීම්වලින් පසුව මුහුද වෙත යන ගමන්වලදී වඩාත් පරිස්සම් වීමට සිතට ගෙන ඇත. ප්‍රාදේශීය පොලිස් නිලධාරියකු විස්තර කළේ “එම ජල තීරය භයානකය. එහි ගසාගෙන ගිය දිවි බේරාගන්නේ නැත, “අනිවාර්යයෙන්ම, කල්යාගේ නිර්භීත ප්‍රතිචාරය එදා ඔහුගේ සහෝදරයාගේ ජීවිතය බේරුවා.'' යනුවෙනි. කල්යාගේ අනාගත බලාපොරොත්තුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ඉංජිනේරුවකු වීමටය. ඒ අතරම, ඔහුට අවශ්‍ය වූයේ ඔහු තම මව් රට වන ශ්‍රී ලංකාවේදී ප්රගූණ කළ පිහිනුම් කුසලතා සහ ජීවිතාරක්ෂක පුහුණුව තවත් වැඩිදියුණු කර ගැනීමටය. සෑම වසරකම පොදුරාජ්‍ය මණ්ඩලයේ එක් සාමාජිකයකුට පමණක් ප්රදානය කරන මවුන්ට්බැටන් පදක්කමට 2022 දී කල්යා සුදුසුකම් ලැබීම මගින් ඔහු ඒ කුසලතා මනාව වර්ධනය කරගත් බව සනාථ කර තිබේ.
ඒ අනුව දැනට 14 හැවිරිදි වියේ පසුවන කල්යා කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ලාබාලතම නිර්භීත පුද්ගලයාය. සම්මාන උත්සවයේ සිටි කම්කරුවන් නියෝජනය කරන කොකස් ජනවාර්ගික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ග්‍රිඩ් ලීයරි පැවසුවේ කල්යා "සැබෑ වීරයෙක්" බවයි.