පොලිස් නිලධාරියෙකු නව යොවුන් වියේ රියදුරකුට හිසට වෙඩි තබා අමු අමුවේ ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් පැරිසියේ වීදි පුරා විරෝධතා හටගෙන තිබේ. 'මම හිසට වෙඩි උණ්ඩයක් බස්සනවා' යැයි කියමින් පොලිස් නිලධාරියා වෙඩි තබා ඇති බව වාර්තා වේ. ඇල්ජීරියානු ජාතික මේ තරුණයා මාර්ග නීති කඩ කළ බවට චෝදනා කරමින් එල්ල කළ වෙඩිපහරින් ප්‍රංශ අගනුවරට බටහිර දෙසින් පිහිටි නන්තෙරේහිදි (වමේ) ඝාතනයට ලක්ව තිබේ. මේ ඝාතනයේ වීඩියෝ නිකුත් වී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා 17 හැවිරිදි නේල් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත. නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිද්ධියට විරෝධය පාමින් පැරිස් යෞවනයන් කුණු බක්කිවලට සහ ගොඩනැගිලිවලට ගිනි තබමින් පාරට බැසීම ඇරුඹීය. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඔහු පැරීසියේ ජාතික සභාවට පැවසුවේ සමාජ මාධ්‍යවල පළකර ඇති පින්තූර 'අතිශයින්ම කම්පනයට සහ කනස්සල්ලට පත්කරන සුළු' ඒවා බවයි.
ප්‍රංශ ජනාධිපති මැක්රෝන් මේ සිද්ධිය සමාව නොදිය හැකි වරදක් සේ හඳුන්වා දී තිබුණි. දෙවැනි දිනයටත් පැතිර ගිය මේ විරෝධතාවන් සමනය සඳහා දෙදහසකට වැඩි කැරුළි මර්දන නිලධාරීන් යොදවා තිබුණි. ඝාතනය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා පැරිස් අවට නගර කිහිපයකද නොසන්සුන්තාවක් ඇතිකළ අතර අඟහරුවාදා රාත්‍රිය වනවිට 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අඟහරුවාදා සහ බදාදා අලුයම වනවිට එක රුයක් තුළ මෝටර් රථ 40ක් පුළුස්සා දමා තිබුණි.