2023 ජුලි 01 වන සෙනසුරාදා

දකුණු කොරියාව එක රැයින් තරුණ වෙයි !

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 133

දකුණු කොරියාවේ මිලියන 51කට අධික ජනතාවක් බදාදා අවදි වූයේ තමන් කලින් සිටියාට වඩා වසරක් හෝ දෙකක් වයසින් තරුණ වූ බව දැනගනිමිනි. බදාදා ක්‍රියාත්මක වූ නව නීති සම්පාදනය යටතේ, රටපුරා 'සියලු අධිකරණ සහ පරිපාලන ප්‍රදේශ' ලෝකයේ බොහෝ දෙනා විසින් භාවිතා කරන 'ජාත්‍යන්තර වයස්' ක්‍රමය අනුගමනයට පෙලැඹෙනු ඇත.

කලින් රට තුළ  ජනතාව “කොරියානු වයස' සහ 'දින දර්ශන වයස' ලෙසද සිය වයස  තවත් ආකාර දෙකකට විවිධ අවස්ථාවලදී භාවිතා කළ අතර මේ නිසා ගැටලු රුසක් මතුව තිබුණි. මේ තත්ත්වය වසර ගණනාවක විවාදයකට හේතුවූ අතර මේ නව නීතිය මගින් ඒ ගැටලුව අවසන්ව තිබේ. දකුණු කොරියාවේ, 'ජාත්‍යන්තර වයස' යන්නෙන් අදහස් කරන්නේ වෙනත් බොහෝ රටවල භාවිතා වන ක්‍රමයමයි. ඒ පුද්ගලයෙකු ඉපදීමෙන් පසු වැයවන සාමාන්‍ය වසර ගණනය. 

නමුත් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වයස විමසූ විට, බොහෝ දකුණු කොරියානුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර වයසට වඩා අවුරුදු එකක් හෝ දෙකක් වයස වැඩිකර ඔවුන්ගේ  “කොරියානු වයස” පිළිතුරු ලෙස ලබාදෙන අවස්ථාද ඇත. චීනයේ මුල් බැස ඇති මෙම ක්‍රමය යටතේ, ළදරුවන් ඉපදෙන දිනයේම ඔවුන්ට වයස අවුරුද්දක් ලෙස සැලකේ.  සමහර තත්වයන් තුළ, දකුණු කොරියානුවන් ඔවුන්ගේ “දින දර්ශන වයස”ද භාවිතා කරයි. එහිදී ජාත්‍යන්තර වයස සහ කොරියානු වයස යන දෙකෙහිම එකතුවක් ලෙස භාවිත වේ. ක්‍රමවේදය වූයේ යමෙක් උපදිනවිටම වයස වසරක් ලෙස සැලකීමත් අනතුරුව එළඹෙන ජනවාරි 01 වැනිදාට වයසට තවත් වසරක් එක් කිරීමත්ය. ඒ අනුව දෙසැම්බර් 31 වැනිදා ඉපදුණු ළදරුවෙක් ඊට පසු දින එනම් ජනවාරි 01 වැනිදා වසර දෙකක් වයස වෙයි.

නිදසුනක් හැටියට 'Gangnam Style' ගායක Psy ගේ වයස සැලකුවහොත්  1977 දෙසැම්බර් 31 දින උපන් ඔහුගේ ජාත්‍යන්තර වයස 45කි. නමුත් කැලැන්ඩර වර්ෂයේ වයස අනුව 46කි. ඒ වුවද කොරියානු වයස අනුව 47කි. මේ ක්‍රමවේදය ඉතා අවුල්සහගත වූ නිසාම නව නීති සම්පාදනය මගින් පොදු වයස් ක්‍රමය ලෙස ජාත්‍යන්තර වයස හඳුන්වාදීම නිසා  දකුණු කොරියානුවෝ දැන් එක රුයින් තරුණ වී සිටිති. නමුත් තවදුරටත් සමහර සමාජ කටයුතුවලදී ඉහත වයස් කාණ්ඩ 3 අවශ්‍ය පරිදි ටික කාලයක් යනතුරු භාවිතයට ගන්නට නියමිතය.