2023 ජුනි 24 වන සෙනසුරාදා

ඉතිහාසය නැවත ලියැවූ නූතන ටයිටැනික් ඛේදවාචකය!

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 241

වසර 111ක් ඉපැරුණි අතීත ඛේදවාචකයක නටබුන් සොයා ගිය අසාමාන්‍ය ත්‍රාසජනක චාරිකාවක් නිමා වූයේද තවත් මහා ඛේදවාචකයක අඳුරු සටහනක් ඉතිහාසයට එක්කරමිනි. ඒ 1912දී ගිලී ගිය “ටයිටැනික්” නැවේ සුන්බුන් නරඹන්නට 2023දී අත්ලාන්තික් සාගර ගැඹුරට ගිය “ටයිටන්” නමැති කුඩා මුහුදු ගිල්වුම් යාත්‍රාව (submersible)  එහි යාත්‍රිකයන් පස්දෙනා සමඟම අබිරහස් ලෙස අතුරුදන්ව පුපුරා යාමේ ආන්දෝලනාත්මක ඛේදවාචකයයි.

මේ ලිපිය ලියන මොහොත වනවිටද, 2023 ජූනි මස 18 ඉරිදා දිනයේ පුද්ගලයින් පස් දෙනෙකු සමඟ උතුරු අත්ලාන්තික් සාගරයට යටින් අඩි 13,000 කට ආසන්න ගැඹුරේ වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත යමින් සිටියදී හදිසියේ අතුරුදන් වූ “ටයිටන්”, ගිල්ලුම් යාත්‍රාව සෙවීමට යෙදවූ යාත්‍රාවන්ගේ සෝනාර් උපකරණ මගින් අබිරහස් පිපිරුම් ශබ්ද රුසක් දෙවැනි වතාවටත් ග්‍රහණය කරගෙන තිබුණි.

මුලින් මේ අමුතු ශබ්ද අඟහරුවාදා දිනයේ කැනේඩියානු ගුවන්යානයක් මගින් අල්ලා ගැනුනි. එම හඬ සෑම විනාඩි 30 කට වරක්ම ඇසී නතර වූයේ මෙලෙස නැවත පසුදා ඇසෙන්නට පෙරය. ඒ වනවිට සෙවුම් කලාපය මේ ශබ්ද ඇසුණු ප්‍රදේශය ආශ්‍රිත දැඩි සෝදිසි කලාපයක් බවට පත්ව තිබුණි. 

මේ ආවේ, හුස්ම හිරවූ යාත්‍රිකයන් කුඩා ටයිටන් ගිල්ලුම් යානයේ බඳට පහර දෙමින් උදවු ඉල්ලා කළ හදිසි අවස්ථා “SOS” සංඥාවක්ද? නැතිනම් යාත්‍රාවේ බඳ පුපුරා සිදුරු වීමෙන් පසු මුහුදු පීඩනයට ගොදුරු වීමේදී නැඟුණු ශබ්දයක්ද? දැන් මේ දෙවැනි කරුණ සනාථ වී තිබේ.

අවසන් පිපිරුම් හඬ නැගෙන කාලය වනවිට යාත්‍රිකයන් සතුව ඉතිරිව තිබුණේ ඔවුනට ගත හැකි අන්තිම හුස්ම පොදය. ඒ ඔවුන් අතුරුදන්වීමෙන් පැය 96කට පමණ පසුය. ටයිටන් අයත් වූ ඕෂන්ගේට් එක්ස්පීඩිෂන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, ස්ටොක්ටන් රෂ් මෙහි සිටි අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ගවේෂක හමීෂ් හාඩිං, සුප්‍රකට ප්‍රශ කිමිදුම්කරු පෝල්-හෙන්රි නර්ජියෝලට් සමඟ පාකිස්තාන ව්‍යාපාරික ෂෙහාඩා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලෙමාන් ඩාවුඩ් මෙසේ අතුරුදන්ව ගියහ. විය යුතු සේම සුලෙයිමාන් මේ ගමන ගොස් ඇත්තේ පණ බයේ ගැහෙමිනි. පියවරුන්ගේ දිනය වෙනුවෙන් සිය පියා සතුටු කරන්නටය.

''ටයිටැනික්'' ඛේදවාචකය චිත්‍රපටයට නැගූ මෙන්ම ලොව ගැඹුරුම පත්ළ, මරියානා ආගාධය කරා මෙවැනි ගිල්ලුම් යාත්‍රාවකින් ගොස් වාර්තාවක් තැබූ එමෙන්ම ටයිටැනික් වෙත 33 වතාවක් කිට්ටු කළ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් පැවසුවේ 1912දී ගිලී ගිය ටයිටැනික් නෞකාව සහ මෙවර පුද්ගලයන් පස් දෙනෙකු සමඟ පුපුරා ගිය ටයිටන්හි  සිද්ධි 2 අතර ඇති සමානකම ගැන තමා ඉතා මවිතයට පත්වන බවය. මේ සිද්ධි දෙකම පූර්ව අණතුරු ඇඟවීම් නොතකා අධි විශ්වාසයකින් යුතුව මරුවා කරා ගිය අසාමාන්‍ය ගමන් දෙකක් ලෙස ඔහු විස්තර කර තිබේ.

ඔහු වඩාත්ම දුක් වන්නේ සිය ටයිටැනික් චිත්‍රපටය තනන්නට පවා උත්තේජනයක් ඇති කළ සිය මිත්‍ර පෝල් හෙන්රිගේ මේ අවසානය ගැනය. පෝල් හෙන්රි නර්ජොලට් දශක දෙකකට වැඩි කාලයක් ප්‍රංශ නාවික හමුදාවේ සේවය කළ අතර, ඔහුගේ රසිකයින් අතර  ''මිස්ටර් ටයිටැනික්'' යන අන්වර්ථ නාමය ලබා ඇති ප්‍රංශ සාගර විද්‍යාඥයෙකි. සාගරයේ ගැඹුර ගවේෂණය කිරීමේ ඔහුගේ පුළුල් අත්දැකීම් හේතුවෙන් කීර්තිමත් චරිතයක් බවට පත් වී ඇත්තේ විශේෂයෙන් ටයිටැනික් වෙත කළ විශිෂ්ට කිමිදුම් 37 සමඟිනි. ටයිටැනික් ඉතිහාසය පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම සහ ඔහු කිමිදීමේදී ග්‍රහණය කරගත් ඔහුගේ ආකර්ෂණීය රෑප සටහන් 1997දී ජේම්ස් කැමරන්ට ඔහුගේ චිත්‍රපටය නිපදවීම සඳහා යොමු කරන්නට හේතුපාදක වී තිබුණි.

ඉතිහාසයේ මින් පෙර කිසිදා කිසිවෙක් සිදුකරන්නටවත් නොසිතූ සහ ඉදිරියේදීත් සිදුකරන්නට බිය වන ආකාරයේ ආන්දෝලනාත්මක ධීර චාරිකාවක් සඳහා මේ පිරිස පිටත්ව තිබුණි. ඒ ඔවුන් ගමන්කළ යාත්‍රාව සාගර ජල කඳට සාපේක්ෂව පිටතින් සීල් තැබූ හරස් අතට ජලයට බැස්සූ “සැමන් ටින් එකක්” බඳු කුඩා කිමිදුම් යාත්‍රාවක් ලෙස  හුවා දක්වමින් එහි ආරක්ෂාව පිළිබඳ දැඩි විවේචන එල්ල වී තුබූ වටපිටාවකය. 

යාන්තම් දිග අඩි 21.9ක් පළලඅඩි 6.5ක් සහ උස 8.2ක් වූ මෙහි වූයේ අවම මූලික පහසුකම් පමණි. එහි ඇත්තේ එක් වැසිකිළියක් පමණක් වන අතර ආසන නොමැත.   මගීන් පස් දෙනා පත්ලේ කකුල් හරස් කර එරමිණිය ගොතා වාඩි වී සිටිය යුතු බව මේ යාත්‍රාවෙන්ම ටයිටැනික් අසළට 2022 වසරේ ප්‍රදර්ශන ගමනකට ගොස් ඇති CBS වාර්තාකරු ඩේවිඩ් පෝගු කියයි.

එහි ටයිටන් නමටම ඔබින ලෙස බර රාත්තල් 23,000ක් වූ මේ යාත්‍රාවේ කාබන් ෆයිබර් සහ ටයිටේනියම් මගින් තෑනූ පීඩන බඳ තුළ යාත්‍රා මෙහෙයුම් කරු ඇතුළු 4 දෙනෙකුට යාන්තම් ඉඩ තිබුණි. මෙය වටා හතර අතට පිහිටා ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක තෙරපුම් යන්ත්‍ර 4ක් මගින් මෙය අවශ්‍ය දිසාවන්ට සීරුමාරු කර යාන්තම් නොට් 3ක (පැයට සැතපූම් 3.4ක) වේගයෙන් පාවී යාමට මේ යාත්‍රාවට හැකිය. ඉදිරි දර්ශනය දක්වන කවුළුව සහිත කොටස තද පියනක් සේ මුළු යාත්‍රාවම බාහිර ලෝකයෙන් වෙන්කර තබයි. පිටත ලෝකය සමඟ වේගවත් සහ අඛණ්ඩ සබඳතා පැවැත්වීමට ඒලෝන් මස්ක්ගේ ස්ටාර් ලයින් චන්ද්‍රිකා ජාලය හා සබැඳි නවීන තාක්ෂණය සහිත ද්විත්ව සන්නිවේදන පද්ධති යහමින් භාවිතා කළ බව කීවද ගමන පිටත් වී පැය 1යි විනාඩි 45ක් ගතවූ සැණින්ම මේ යාත්‍රාවේ සියලු සබඳතා නැතිව ගියේය. ඉන්පසු මුහුදු පතුළ යට සිට ආවේ මේ අසාමාන්‍ය පිපිරුම් හඬ පමණි.

එතැන් සිට ඇරුඹුණේ ටයිටන් ගැන ඔත්තුවක් සොයා අඳුරු ගැඹුරු සාගරය විනිවිද යන තියුණු පරීක්ෂාවකි. ටයිටන් මුහුදු පත්ලට කිඳා බස්වන ලද එහි නියමු නෞකාව වන Polar Prince ට අමතරව කැනේඩියානු බෝයිං පී -8 පොසයිඩන් සහ සී -130 හර්කියුලිස් ඔත්තු බැලීමේ ගුවන් යානා, මෙන්ම නාවික යාත්‍රා 10ක් සහ දියයට විනිවිද දකින සෝනාර් බෝයාවන් ද ඇතුළු මෙහෙයුම් යාත්‍රා සමූහයක් උතුරු අත්ලාන්තික් සාගරය පීරමින් සිටියහ. 

ටයිටන් ගිලි ගොස් තිබූ ගැඹුර ලොව උසම ගොඩනැඟිල්ල බර්ජ් කලීෆා (අඩි 2716) තරම්  හතර-පස් ගුණයක දුරක් (අඩි 12 500ක්) වූ අතර සෙන්ටිග්‍රේඩ් අංශක 0ටත් අඩු අධි ශීත දැඩි අඳුරු සහ ජල පීඩනය පිටත මෙන් 390 ගුණයකින් වැඩි ස්ථානයකි. එනම් එහි පීඩනය පාසල් බස් 46ක් ඔබේ පපුව මත පැටවූවාක් වැනි බරකි. මේ තරම් ගැඹුරේ සෙවීම් කිරීමට යොදාගන්නා දුරස්ත ක්‍රියාකාරී දිය යට යන රොබෝවරු හැටියට හඳුන්වන විශේෂඥ ROV යානා ලබා ගැනීම සඳහා අවම වශයෙන් රටවල් පහක පෞද්ගලික සමාගම් සම්බන්ධ කර ගන්නට ඒ වනවිට Polar Prince නෞකාව  සිය ගලවා ගැනීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරගෙන සිටි අමෙරිකා වෙරළාරක්ෂක බලකාය ක්‍රියාත්මක වූහ.

එයට ලද ප්‍රතිචාරයක් ලෙස කැනේඩියානු නෞකාවක් වන හොරයිසන් ආක්ටික්ස්   බ්‍රහස්පතින්දා මැසචුසෙට්ස් හි කේප් කෝඩ් සිට සැතපුම් 900ක් (කිලෝමීටර් 1,450 ක්) නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයේ සෝදිසි ස්ථානයට පැමිණියේය. ඒ නෞකාවේ ටයිටැනික් නෞකා සුන්බුන් පිහිටා ඇති මීටර් 4,000 (අඩි 13123) ක් ගැඹුරට ළඟා විය හැකි ROV සෙවුම් රෝබෝවක් තිබූ අතර ROVපහසුකම සහිත ප්‍රංශ නෞකාවක් වන L’Atalante ද එහි ළඟා විය.

ඒ අනුව බ්‍රහස්පතින්දා හොරයිසන් ආක්ටික්ස් ROV සෙවුම් රෝබෝව මගින් ටයිටැනික් නෞකාවේ සිට සැතපුම් තුනෙන් එකක් පමණ දුරකින් විසිරී තිබූ ටයිටන් ගිල්වුම් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කැබලි රුසක් සොයාගත් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ඇඩ්ම් ජෝන් මෝගර් නිවේදනය කළේය.

මුහුදු පත්ලේ ඇති ටයිටැනික් නැවේ සුන්බුන් රාමුවේ සිට අඩි 1,600ක් පමණ දුරින්   ටයිටන් යාත්‍රාවේ වලිග කේතුව, මුලින්  සොයාගනු ලැබිණි. පසුව, ROV මගින්  අතිරේක සුන්බුන් කැබලි සොයාගත් අතර ඒවා ''පීඩන කුටියේ විනාශකාරී පිපිරුමක්'' පිළිබඳ සාක්ෂි ලෙස දැන් පිළිගෙන තිබේ. ඒ සමගම චාරිකාව සැකසූ ඕෂන්ගේට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ''නෞකාවේ සිටි අයගේ ජීවිත අහිමි වීම ගැන අපි කනගාටු වෙමු!'' යනුවෙනි. දැන් පෙනීයන ආකාරයට ඔවුන් ක්ෂණික මරණයකට ගොදුරු වී තිබේ. සාගරය ගිලගත් ඔවුන්ගේ සිරුරු පවා නැවත හමුනොවනු ඇත. ඉතිහාසය නැවත පෙරුළී තිබුණි. කැමරන් කීවාක් මෙන් පර් යේෂණ ගමන් රුසකින් පසු යායුතු ඉතා සූක්ෂම ගමනක් වූ මේ ගවේෂණය හිතුවක්කාර උත්සාහයක තවත් ඛේදවාචකයක් ලෙස ඉතිහාස ගතව තිබේ.

ඕෂන්ගේට් සහ ටයිටන් ගමන්මග

මේ ටයිටන් යාත්‍රාව සහ ඕෂන්ගේට් සමාගම වසර 2009 සිට එහි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, ස්ටොක්ටන් රෂ් දුටු සිහිනයක සැබෑවීමකි. ඔහු ටයිටැනික් සවාරි සඳහා සිහිනය දුටුවේ 2005 තරම් ඈතක සිටය. ඒ ඔහුගේ බිරියගේ මුත්තා සහ මිත්තණිය 1912 ටයිටැනික් ඛේදවාචකයේ ගොදුරක් වීම නිසාය.

2009 දී සමාගම ගිල්ලුම් යාත්‍රා නිපදවීම ඇරුඹූ අතර ඒවා මුලින් සයික්ලොප්ස් නමින් හැඳින්විනි. 2013 වනවිට සාගර අධ්‍යයන පර් යේෂණ සඳහා දායක වූ අතර ටයිටැනික් ගවේෂණ චාරිකා පිළිබඳ අදහස මුලින් 2015 නොවැම්බරයේ ඉදිරිපත් විය. ඒ කාලයේ මුල්ම සංචාරකයන් ලෙස මාර්ක් සහ ෂැරොන් හැගල් දෙදෙනා ගිවිසුමක් අත්සන් කර ටයිටැනික් නෞකා ගවේෂණයට සහභාගී වීම සඳහා ඕෂන්ගේට් වෙත ඩොලර් 10,000ක තැන්පතු ගෙවා දැමීය. සමාගම හැලහැප්පිලි සහිත නඩු විභාග මෙන්ම විවේචන රුසකට මුහුණ දී තිබුණේ මේ චාරිකාව අනාරක්ෂිත අසාමාන්‍ය ධීර චාරිකාවක් වීම හේතුවෙනි.

2018 දී සයික්ලොප්ස් 2 යාත්‍රාව ටයිටන් ලෙස නම් කෙරුණි. අගෝස්තු 2018 ඕෂන්ගේට් සිය හිටපු සාගර මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොච් රිජ් සහ ඔහුගේ බිරිඳ වන කැරෝල් රීඩ් ලොච්රිජ්ට එරෙහිව නඩු පවරා ඇත. ඔවුන් ටයිටැනික් ගවේෂණය සහ යාත්‍රාවේ ආරක්ෂක ගැටලු ගණනාවක් ප්‍රශ්න කර තිබුණි. නඩුව විසි කැරුණු අතර 2018 දෙසැම්බරයේ බහමාස් මුහුදු ගැඹුරේ අඩි 1300ක් යටට ගිලීයාමට රෂ්ට හැකිවිය. 

මේ සමග 2019 සිට ඇරුඹීමට නියමිතව තිබු ටයිටැනික් ගවේෂණ චාරිකාව වරින්වර කල් ගිය අතර සමාගමට නාසා ආයතනයේ අත හිතද ලැබිණි. ඒ අනුව ඕෂන්ගේට් 2021 ජූලි මාසයේදී ටයිටැනික් නෞකා සුන්බුන් සොයා සිය පළමු කිමිදීම සම්පූර්ණ කළේය. එයට රෂ්, ස්කොට් ග්‍රිෆිත් සහ පී.එච්. නර්ජියෝලට් සමඟ නියමුවකු ඇතුළත් විය.

ටයිටැනික් වාර්ෂික ගවේෂණ මාලාවකට අදහස ඉදිරිපත් වූයේ එතැන් සිටය. ඕෂන්ගේට් 2022 සිට ටයිටැනික් ගවේෂණය සඳහා ඩොලර් 250,000 දක්වා මිල ඉහළ නංවා තිබුණි. 2022 ජූලි මස සීබීඑස් වාර්තාකරු ඩේවිඩ් පොග් ඕෂන්ගේට් සමඟ ටයිටැනික් ගවේෂණයකට ගියේය. 2023 ජනවාරියේ පළවූ ගාර්ඩියන් පුවතක් කිවේ Ocean Gate ඒ වනවිට ගවේෂණ ගනුදෙනුකරුවන් 60ක් පමණ සහ පර්යේෂකයන් 15-20ක් පමණ ටයිටැනික් නෞකාව අසළට ගෙන ගොස් ඇති බවය.
ජූනි 01 ආයතනය තමන්ට ස්ටාර්ලින්ක් සබඳතාව ලැබීම ගැන උදම් අනා තිබුණි. ජූනි 17 ඇක්ෂන් ඒවියේෂන් අයිතිකරු හමීෂ් හාඩින් තමන්ද හෙට ඇරුඹෙන ගමනට යන බව ට්විටර් කර තිබුණි. දැන් ජූනි 22 ටයිටන්හි යැයි සැක කෙරෙන සුන්බුන් ලෝකයා හමුවට ඉදිරිපත්ව තිබේ! 

 

I  සුගත් පී.කුලතුංග ආරච්චි