2154 වනතුරු අද ලොව පුරා පවතින සමස්ත ස්ත්‍රී පුරුෂ පරතරය සමානාත්මතාවකට පත් නොවන බවට ලෝක ආර්ථික සංසදයේ නව වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත. ඉකුත් බදාදා නිකුත් කරන ලද WEF හි “ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය වාර්තාව 2023” ට අනුව තවත් වසර 131 ක් යනතුරු කාන්තාවන් හා පිරිමින් අතර සමානාත්මතාවයක් ඇති නොවනු ඇත.
එහි කළමනාකාර අධ්‍යක්ෂ සාඩියා සහිඩි සිය වාර්තාවේ ලියා ඇති පරිදි. මෑත වසර කිහිපය තුළ ගෝලීය වශයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය විශාල පසුබෑම්වලින් සලකුණු වී ඇති අතර, අධ්‍යාපනයේ සහ ශ්‍රම බලකායේ කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට සමාන අවස්ථා සඳහා ලැබී තිබූ පෙර ප්‍රගතිය Covid-19 වසංගතයේ බලපෑමෙන් දැඩිව කඩාකප්පල් වී ඇත. ඒ අනුව ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය දුර්වල වෙමින් පවතී.
WEF හි ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය රටවල් 146 ක, ආර්ථිකය, දේශපාලනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතරක ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබයි. මෙහිදී ආර්ථික සහභාගීත්වය සහ අවස්ථාව, අධ්‍යාපන ප්‍රවේශය, සෞඛ්‍ය යහපැවැත්ම සහ දේශපාලන බලගැන්වීම යන කාරණාවලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ක්‍රියාත්මක ආකාරය සලකා බැලේ. 2006 දී මෙම WEF දර්ශකය දියත් කළ දා සිට සමස්ත සමානාත්මතාවය වැඩි වී ඇත්තේ 4.1% කින් පමණි.