2023 ජුනි 17 වන සෙනසුරාදා

ලොවපුරා අවතැන් පිරිස මිලියන 110ක්!

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

ලොවපුරා අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව වාර්තාගත මිලියන 110ක් දක්වා ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) පවසයි.  යුක්‍රේනයේ සහ සුඩානයේ යුද්ධ හේතුවෙන් මිලියන ගණනකට සිය නිවාස අහිමි වීමත් සමඟ මේ සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇති බව බදාදා ඉදිරිපත් කළ UNHC වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසරේ මිලියන 19ක පමණ ජනතාවකට පලා යාමට සිදුව තිබූ අතර එම වසර අවසන් වනවිට මුළු සරණාගත සංඛ්‍යාව මිලියන 108.4 දක්වා ඉහළ නැංවී තිබුණි. බොහෝදුරට සුඩානයේ පැවැති සති අටක් පැරණි ගැටුම හේතුවෙන්, මේ වනවිට එම සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 110 දක්වා ඉහළ ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සරණාගත ප්‍රධානී ෆිලිපෝ ග්‍රැන්ඩි වාර්තාකරුවන්ට පැවසීය. මේ සමස්ත සංඛ්‍යාවට තමන්ගේම රටවල් තුළ ආරක්ෂාව සොයන පුද්ගලයින් මෙන්ම ආරක්ෂාව පතා  දේශසීමා තරණය කළ අයද ඇතුළත් වේ. සමස්ත සරණාගතයින් සහ ජාත්‍යන්තර ආරක්ෂාව අවශ්‍ය අයගෙන් අඩක් පමණ පැමිණ ඇත්තේ සිරියාව, යුක්රේනය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් තුනෙන් පමණක් බව වාර්තාව පවසයි.

2011 වසරේ සිරියාවේ ගැටුමට පෙර මිලියන 40ක් පමණ සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූවන් සිටි අතර, එම සංඛ්‍යාව වසර 20ක පමණ කාලයක් ස්ථාවරව පැවති බව ඒජන්සිය පවසයි. නමුත් එතැන් සිට සෑම වසරකදීම එම සංඛ්‍යාව ඉහළ ගියේය.