2023 ජුනි 10 වන සෙනසුරාදා

ආසියාව කැළඹූ ඉන්දියාවේ නව සිතියම!

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 313

ඉන්දියාවට නව පාර්ලිමේන්තු මන්දිරයක් ලැබී තිබේ. අගමැති මෝදි පසුගිය මස අග එය විවෘත කළේ සිය විරුද්ධ පක්ෂ මේ ඉතිහාසගත උත්සවය මඟහැර සිටියදීමය. ඒ සඳහා ද මූලික හේතුවක් වූ බව කියන, මේ නව ගොඩනැගිල්ල තුළ ඇති බිත්ති සිතුවමක් ගැන දැන් මහත් ආන්දෝලනයක් පැතිර තිබේ. 

ඉන්දියානු පාර්ලිමේන්තුවේ මේ බිතු සිතුවම මගින් දකුණු ආසියාවේ ප්‍රධාන ස්වාධීන රාජ්‍ය කිහිපයක්ම ඉන්දියාවේ භූමියට අයත් ලෙස සලකා ලකුණු කර දක්වා තිබේ. ඇෆ්ගනිස්ථානයේ කොටසක් සහ සමස්ත පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය මෙන්ම ශ්‍රී ලංකාවද මේ බිත්ති සිතියමේ ඉන්දීය රාජධානියට අයත් ලෙස දක්වා තිබේ.

මෙම සිතියම මගින් පණ පොවා ඇත්තේ අගමැති මෝදි අයත් භාරත් ජනතා පක්ෂයේ අන්ත දක්ෂිණ සංකල්පයක් වන ‘"Akhand Bharat," හෙවත් අඛණ්ඩ භාරතය යන සංකල්පය බවට චෝදනා නැගී තිබේ. මේ ගැන නේපාලය, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක්ම සිය අප්‍රසාදය මේ වනවිට පළ කර තිබේ. මේ සිතියම ඉවත් කරන ලෙසටද ඉල්ලා ඇත. නමුත් මෝදිගේ පක්ෂ ප්‍රකාශකයෙක් මේ සිතියම ගැන සමාජ ජාල සටහනක් තබා කියා ඇත්තේ මෙහි දැක්වෙන්නේ ඉපැරැණි මෞර්යය රාජධානියට අයත්ව තිබූ රටවල් වන අතර අශෝක රජුගේ එක භාරතයක් යන සංකල්පය හුවා දැක්වීමට මේ සිතියම පිහිටුවා ඇති බවටය.