සමස්ත ලෝකයම මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල රැකියා අපේක්ෂීත පිරිස සඳහා අවශ්‍ය තරම් රැකියා නොමැති වීමේ තත්ත්වය භයානක ලෙස ඉහළ යමින් ඇත. ඒ අනුව 2023දී රැකියා සොයන ඒ නමුත් රැකියා අවස්ථා නොමැති පිරිස මිලියන 453ක් දක්වා ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක් දැන් නිකුත්ව තිබේ.
ඉහළ යන උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය මට්ටම්, සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු මේ අන්දමට බිඳ දමා ඇති බවට මේ අනතුරු ඇඟවීම කර තිබුණෙ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) යි.
එහි නව නිරීක්ෂණ වාර්තාව, අනුව ILO පෙන්වා දෙන්නේ ඉහළ ආදායම් ලබන රටවල රැකියා අපේක්ෂිතව සිටින නමුත් රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව සියයට 8.2ක් පමණක් වන අතර, අඩු ආදායම්ලාභී රටවල එම සංඛ්‍යාව සියයට 21කට වඩා වැඩි වන බවය. ඒ අනුව සංවර්ධිත රටවල පහෙන් එකකටද අඩු ආදායම්ලාභී රටවල හතරෙන් එකකටද රැකියා අහිමිය.
ILOහි රැකියා සහ සමාජ ආරක්ෂණය සඳහා වන සහකාර අධ්‍යක්ෂ ජනරාල් මියා සෙපෝ පැවසුවේ, 2023දී ගෝලීය විරැකියාව වසංගතයට පෙර තිබූ මට්ටමට වඩා පහත වැටෙනු ඇතැයි කළින් අපේක්ෂා කළ බවය. ඒ අනුව මිලියන 191 කට හෙවත් සියයට 5.3ක ප්‍රමාණයකට පමණක් රැකියා අහිමිවන බවට අනුමාන කර තිබුණි. නමුත් අඩු ආදායම්ලාභී රටවල, විශේෂයෙන් අප්‍රිකාවේ සහ අරාබි කලාපයේ, මේ වසරේ විරැකියාවේ එවැනි අඩුවීමක් දක්නට නොලැබෙන බව දැන් පෙනී ගොස් තිබේ.
ඒ අනුව 2023 ගෝලීය රැකියා පරතරය, හෙවත් වැඩ කිරීමට කැමති නමුත් රැකියාවක් නොමැති අය, මිලියන 453ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එහිදී කාන්තාවන් පිරිමින්ට වඩා 1.5 ගුණයකින් පීඩාවට පත්වන බව ඇය පෙන්වා දී තිබේ.