2023 ජුනි 04 වන ඉරිදා

චීනය උඩු ගුවනේ තවත් අඩව්වක් අල්ලයි!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 91

චීනය සිය ප්‍රථම සිවිල් ගගනගාමියා ඉකුත් අඟහරුවාදා උඩුගුවනට යැවීය. එහි ෂෙන්ෂෝ-16 මෙහෙයුම මගිනි. ඒ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහිත දෙවැනි උඩුගුවන් සවාරිය සඳහා ගිය ගමනකි. මේ ෂෙන්ෂෝ-16 මෙහෙයුම චීන රටේ දීර්ඝ කාලීන අභ්‍යවකාශ වැඩසටනේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කළේය.

Shenzhou-16 ගගනගාමීන් තිදෙනා අඟහරුවාදා උදෑසන 9:31ට චීනයේ ගන්සූ පළාතේ කාන්තාරයේ ජිකූආන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටත්ව පෘථිවිය වටා කක්ෂගතව ඇති ඒරට Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවිය.

මේ ගමන ගිය කාර්ය මණ්ඩලයට අයත් Jing Haipeng, Zhu Yangzhu සහ Gui Haichao යන පිරිස - නොවැම්බර් මාසයේ සිට චීනයේ අලුතින් නිම කරන ලද Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටි Shenzhou-15 ගගනගාමීන්ගෙන් එහි පාලනය භාරගනු ඇත.  ඔවුන් මාස පහක කාලයක් එහි ගතකරනු ඇත. මෙය 2021 වසරෙන් පසු, සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මිනිසුන් සහිතව යැවූ චීනයේ පස්වැනි මෙහෙයුමයි.