2023 මැයි 28 වන ඉරිදා

උද්ධමනය මැද තුර්කියේ මහ පුටු හටන!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 59

ඉහළ යන උද්ධමනය සහ පහත වැටෙන ලීරා මුදලේ අගය මැද මැයි 28 වැනි දින තුර්කියේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වීමට නියමිතව ඇත. මේ පැවැත්වෙන ජනාධිපතිවරණ තරගයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් ආර්ථිකය හැඩගස්වන්නේ කෙසේද යන්නට ප්‍රමුඛතාවය හිමිවනු ඇත. 

තුර්කියේ ප්‍රධාන විපක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක කෙමාල් කිලික්ඩරොග්ලු මේ වනවිට ඔහුගේ ප්‍රතිවාදී තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් පරාජය කිරීමේ ප්‍රබල ජනතා ව්‍යාපාරයකට නායකත්වය ලබා දී තිබේ. ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පොරොන්දුවෙහි සෑමවිටම සිරියානු සරණාගතයන් නැවත පැමිණීම ගැන මුලින් ඇතුළත් වූ නමුත්, මැයි 15 වැනි දින පළමු වටයේ ඡන්දයෙන් පසු ඔහුගේ ස්වරය  ජාතිකවාදීන්ට ආයාචනා කරන දැඩි ස්ථාවරයක් ගෙන ඇති බව විශ්ලේෂකයෝ පවසති. ඡන්දයට පෙර ඔහු කියා සිටියේ වසර දෙකක් ඇතුළත ස්වේච්ඡා පදනමින් සිරියානුවන් ආපසු ගෙන්වා ගන්නා බවයි. මුල් වටයට පසුව, කිලික්ඩරොග්ලු කීවේ, එර්ඩෝගන් "තුර්කියේ දේශසීමාව සහ ගෞරවය ආරක්ෂා නොකළ" බවත්, තමන් බලයට ආ කල  "සියලු සරණාගතයන් ගෙදර යවන'' බවත්ය.  

සමහර විචාරකයන්ට අනුව ද මෙවර තුර්කියේ ජනපතිවරණයේදී රිසෙප් තායිප් එර්ඩෝගන්ට සම්පූර්ණ ජයග්‍රහණයක් හිමිවීමට ඇති ඉඩකඩ අඩුය. ඉහළ උද්ධමනයක් පවතින අවස්ථාවක පොලී අනුපාත අඩු කිරීම ගැන ජනාධිපති එර්ඩෝගන් ජනතා  විවේචනයට ලක් විය. විපක්ෂය ජයග්‍රහණය කළහොත් එයින් තහවුරු වන්නේ ඔහුගේ මේ ප්‍රතිපත්ති ගැන නැවත සිතා බැලීමට බල කෙරී ඇති බවය. එහෙත්, වෙන කවරදාටත් වඩා එකමුතුව ඇති විපක්ෂයේ ප්‍රතිඵලය ද බලාපොරොත්තු වන තරමේ ඉහළ   මට්ටමක නොවනු ඇති බවට මත පළව තිබේ.