2023 මැයි 28 වන ඉරිදා

කෘත්‍රිම බුද්ධිය ගැන අඳුරු අනාවැකි රැසක්!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 113

කෘත්‍රිම බුද්ධිය ගැන මේ වනවිට ලොව පුරා දැඩි සංශයවාදී කතාබහක් පැතිර පවතී. වසර 2030 වන විට, කෘත්‍රිම බුද්ධිය අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීමට, චිත්‍රපට නිර්මාණය කිරීමට සහ පාඩම් ඉගැන්වීමට උපකාරි විය හැකිවාක් මෙන්ම, එය මිනිස් සංහතිය මහ පොළොව මතින් අතුගා දැමීමට වුවද හැකි බවට දැන් නව භීතියක් පැතිර පවතී.

ඉදිරි දශකය තුළ තාක්‍ෂණය අපගේ ජීවිත වෙනස් කරන්නේ කෙසේදැයි පුරෝකථනය කරන ලෙස එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ AI ප්‍රවීණයන් අට දෙනකුගෙන් කළ ඉල්ලීමකට අනුව ලද අතිශය වෙනස් අනාවැකි අතරින් කිහිපයකි ඒ. ඔවුන්ට අනුව මේ නව තාක්ෂණය මගින් බලශක්ති අර්බුදය විසඳාගත හැකි අතර ගෝලීය ආර්ථිකයට ට්‍රිලියන ගණනක් එකතු කළ හැකිය. නමුත් එයම අපේ රැකියා අහිමිවීමේ රුල්ලකට තුඩු දිය හැකි අතර අපව යල්පැන ගිය තත්ත්වයකට පත් කරනු ඇතැයිද බිය පළව තිබේ. 

AI මගින් අපගේ ජීවිත මැනිය නොහැකි ඉහළ මට්ටමකට වැඩිදියුණු කරනු ඇතැයි යන  අදහස් පළවන අතරම, එය 2030 වන විට මානව වර්ගයා අවසන් කළ හැකි බවට සමහර  විශේෂඥයන් දැඩිව අනතුරු අඟවා තිබේ. 2030 ජනවාරි 1 වන විට කෘත්‍රිම බුද්ධිය මගින්   මානව වර්ගයා මුළුමනින්ම අතුගා දමන බවට ඩොලර් 100ක් ඔට්ටු ඇල්ලීමටද ප්‍රසිද්ධ   ඇමෙරිකානු ජාතික පරිගණක විද්‍යාඥ එලීසර් යුඩ්කොව්ස්කි ඉදිරිපත්ව සිටියි. ප්‍රකෝටිපතියකු වන එලොන් මස්ක් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥ ස්ටීවන් හෝකින් ද AI අපේ   ‘ශිෂ්ටාචාරය විනාශ කළ හැකි’ බව පවසන අනෙකුත් ප්‍රමුඛ විශේෂඥයන්ය.