2023 මැයි 21 වන ඉරිදා

හැරී-මේගන් පසුපස පැපරාසී හඹායාමක්!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 70

හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් පසුපස පැපරාසීන් පිරිසක් හඹායාම හේතුවෙන්  නිව්යෝක් නගරයේ අවුල් සහගත තත්ත්වයක් මතුවිය. ඉකුත් අඟහරුවාදා රාත්‍රි හැරී කුමරු ඔහුගේ බිරිඳ සහ මේගන්ගේ මව වන ඩෝරියා රග්ලන්ඩ්ද ඇතුළත් රථ පෙළක් මේ හඹායාමට ලක්විය‍.

නගරයේ සීග්ෆෙල්ඩ් බෝල්රූම්හි පැවැති ‘විමන් ඔෆ් විෂන්’ සම්මාන උළෙලට සහභාගි වූ මේ තිදෙනා ඉන් පිටවීමෙන් පසු පැපරාසී ඡායාරූප ශිල්පීන් රුගත් දුසිමකට වැඩි රථ පෙළක් තරගකාරී ධාවනයක යෙදෙමින් පැය 2කට ආසන්න කාලයක් නගරය පුරා මේ පිරිස ලුහුබැඳ ගිය බව කියනු ලැබේ.

මේ රථ අධික වේගයකින් යමින් පදිකය මත පවා වරෙක ධාවනය කරමින් වමට දකුණට කපමින් වෙට්ටු දමමින් අනෙකුත් රථවාහන සහ පොලිස් නිලධාරීන්ටද අභියෝගයක් වෙමින් ඡායාරූප ගැනීමේ යෙදුණු බවටද වාර්තා ඉදිරිපත්ව ඇති නමුදු නිව්ෙයාක් පොලිස් දෙපාර්තමේන්තුව කියා තිබුණේ මේ හේතුවෙන් ගැටුම්, තුවාල හෝ අත්අඩංගුවට ගැනීම් වාර්තා වී නොමැති බවය.

රජ ගෙදරින් වෙන්වූ දා සිට හැරී - මේගන් යුවළ ආන්දෝලනාත්මක රාජකීය පුවත් මවන්නන් ලෙස පැපරාසී අවධානය දැඩිව දිනා සිටිති. ඔවුන්ට රජ පවුලට ලැබෙන  ආරක්ෂාව සැලසෙන්නේ නැති අතර පෞද්ගලික ආරක්ෂක සේවා උපකාරී කර ගනියි. සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු තම පවුලේ ආරක්ෂාව ගැන මෙයට පෙරද හඬනඟා ඇති අතර, නිතර නිතර පැපරාසීන් සහ ටැබ්ලොයිඩ් පුවත්පත් ගැන අවලාද නඟා තිබේ.  ඔහුගේ මව ඩයනා ආර්යාව හෙවත්  දිවංගත වේල්ස් කුමරිය 1997 දී පැරීසියේදී අධිවේගී මෝටර් රථ අනතුරකින් අභ්‍යන්තර තුවාල ලබා මිය ගියාය. ඒ මෙවන් පැපරාසී හඹා යාමක් අතරතුර දීය. මේ නිසාම හැරී කුමරු තුළ පැපරාසීන් ගැන ස්වභාවික නොරිස්සුම් ස්වභාවයක් පවතී. 'මගේ මව යන යන තැන දඩ බලු රැළක් පැන්නුවා' ලෙස ඔහු කලෙකට පෙර සිය මව පසුපස ගිය පැපරාසීන් ගැන ප්‍රසිද්ධියේම කියා තිබුණි.

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00