2023 මැයි 21 වන ඉරිදා

තායි රටට තරුණ රජයක්!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 163

මෙවර මැතිවරණයෙන් තායිලන්ත විපක්ෂ නායක පීටා ලිම්ජරොන්රාගේ 'මූව් ෆෝවර්ඩ්' පක්ෂය ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්ව තිබේ.

ඒ දශකයකට ආසන්න කාලයක් තායිලන්තය පාලනය කළ හිටපු හමුදාපති ජෙනරාල් ප්‍රයූත් චැං ඕජාගේ එක්සත් තායි ජාතික පක්ෂයත්, මෙවර නිසැකවම ජයග්‍රහණය අත්කරගනු ඇතැයි අනාවැකි පළවූ එරට හිටපු අගමැතිවරයකු වන තක්ෂින් ෂිනවට්රාගේ දියණිය පීටොංටාන්ගේ පියු තායි පක්ෂයත් පරාජය කරමිනි.

සිය ප්‍රතිසංස්කරණවාදී රැඩිකල් සැලසුම් හේතුවෙන් Move Forward සඳහා තරුණ තායිලන්ත ජාතිකයින් අතර විශාල ආකර්ෂණීය අනුගාමිකත්වයක් ලැබී ඇත.

කෙසේ වුවද පාර්ලිමේන්තු ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අගමැති පත්කර ගැනීමේ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන්ට අමතරව හමුදා නිලධාරීන් 250 දෙනකුගෙන් සමන්විත සෙනෙට් සභාවක්ද ස්ථාපිත කිරීම හමුදා පාලනය යටතේ පැවැති රජය කටයුතු කර තිබීම හේතුවෙන් තායිලන්තයේ තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි 42 හැවිරිදි විපක්ෂ නායක පීටාට අගමැති ධුරය ලබාගැනීමට පීටොංටාන්ගේ පියු තායි පක්ෂය සමඟත්, තවත් සුළු පක්ෂ කිහිපයක් සමඟත් සන්ධානගත වීමට සිදුවී ඇත.

ආසන 500කගෙන් සමන්විත තායිලන්ත පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පැවැති දේශපාලන පක්ෂ 67ක් තරග වැදුණු මෙවර තායිලන්ත මැතිවරණයට ලියාපදිංචි මිලියන 52ක ජනතාව අතුරින් වාර්තාගත ලෙස 75෴ක්ම ඡන්දය භාවිත කර ඇත.

එරට මහ මැතිවරණයෙන් ‘මූව් ෆෝවර්ඩ්‘ පක්ෂය ආසන 151ක් අත්කර ගැනීමට සමත් වෙද්දී පීටොංටාන්ගේ පියු තායි පක්ෂයට ආසන 141ක් හිමි වී තිබේ.  වසර 2014දී හමුදා කුමන්ත්‍රණයකින් පැවැති රජය පෙරළා දමා බලයට පත් වූ ජෙනරාල් ප්‍රයූත් චැංගේ පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 36ක් පමණි. එම පක්ෂයට සහාය පළකළ පලාංග් ප්‍රචාරත් පක්ෂය ආසන 40ක් හිමිකරගෙන තිබුණි.