2023 අප්‍රේල් 09 වන ඉරිදා

අවුරුදු 50කට පසු හඳට යන කණ්ඩායම

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 144

'මිනිසා හඳට ගියා’ කියන කතාව තාමත් සමහරු විශ්වාස කරන්නේ නැති වුණත් අමෙරිකාවේ ලෝක ප්‍රකට ‘නාසා’ ආයතනය දැන් මිනිස් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ මුල්වතාවට කාන්තාවක් මෙන්ම කළු ජාතිකයෙක්ද හඳට යවන්නටත් සූදානම්ය. මෙවර හඳට යවන කණ්ඩායම පිළිබඳ විස්තර පසුගිය සතියේ නාසා ආයතනය මාධ්‍ය වෙත නිකුත් කළා‍.

හඳ මත මුලින්ම පා සටහන තැබූවේ නීල් ආම්ස්ට්‍රෝංය, ඔහුත් සමග සඳට බැස්ස දෙවෙනියා බස් ඕල්ඩ්‍රීන්ය. ඒ සාර්ථක ඓතිහාසික ගමන ගිය අනෙක් සාමාජිකයා මයිකල් කොලින්ස්ය. මේ තුන්දෙනාගේ කල්ලිය ඔය ගමන ගියේ මීට අවුරුදු 50කට ඉස්සර 1969 ජූලි 20 වැනිදාය. ඉන්පසු  1972දී ඇපලෝ සඳතරණ වැඩපිළිවෙළ අතහැර දැමීමත් සමග මිනිසාගේ උනන්දුව අඟහරු ඇතුළු අනෙකුත් ග්‍රහලෝක කරා යොමුවිය.

ඒත් ‘නාසා’ආයතනය දැන් අවරුදු 50කට පසුව නැවත හඳට යන්නයි සූදානම. මේ ගමන යන්නට නියමිත 2024 දීය. ඒ සඳහා සූදානම් කළ වැඩපිළිවෙළ‘ආර්ටේමිස්’ කියලයි නම්කර ඇත්තේ. ලෝකයේ මුල්ම චන්ද්‍රගාමිනීය නැතිනම් සඳ වෙත යන කත සඳමතට ගෙනයන්නේ මේ ‘ආර්ටේමිස්’ වැඩසටහන මගින් මෙහෙයවන ඔරියන් යානය මගිනුයි.

ආර්ටිමේස් 1 ලෙස වූ මෙහි මුල් මෙහෙයුම 2022 නොවැම්බරයේ දියත් කරන ලද කාර්ය මණ්ඩලයකින් තොර මෙහෙයුමක් වන Artemis I සඳ වටා ගමන් කිරීමෙන් දින 25 කට පසු සාර්ථකව නැවත පෘථිවියට පැමිණියේය. දැන් නාසා ආර්ටිමේස්හි දෙවැනි ගමනටයි සුදානම. වසර 50 කට පසු සඳ තරණය කරන මේ ගමනට යන පළමු ගගනගාමීන් සිව්දෙනා තමා පසුගිය සතියේ නම් කළේ.

එහිදී අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පලපුරුදුකාරියක් සහ අභ්‍යවකාශ වාර්තා රුසකට හිමිකම් කියන මිචිගන් හි ග්‍රෑන්ඩ් රුපිඩ්ස්හි ක්‍රිස්ටිනා කොච්, තමා මානව ඉතිහාසයේ මුලින්ම හඳට යන කාන්තාව වීමේ වාසනාව උදාකරගත් තැනැත්තියයි. කැලිෆෝනියාවේ පොමෝනාහි සිට ආ වික්ටර් ග්ලෝවර් සඳ මෙහෙයුම සඳහා තෝරාගත් පළමු වර්ණ පුද්ගලයා බවට ඉතිහාස ගතවනවා. කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන්  සමඟ බැල්ටිමෝර්, මේරිලන්ඩ්හි  රීඩ් වයිස්මන් මෙයට සහභාගි වන  අනෙක් සඳගාමීන්.

ක්‍රිස්ටිනා කොච් 2013 දී හඳට යන්නට හදන අලුත් කණ්ඩායමට එක් වූ අතර, 2019 සහ 2020 අතර ISS වෙත කළ සංචාරයේදී දින 328ක් කක්ෂයේ ගතකර ඇති අතර, කාන්තාවක් විසින් තනිව සිදුකළ දීර්ඝතම අභ්‍යවකාශ තරණය සඳහා වූ  වාර්තාව තබා ඇත. ඉන් මාස කිහිපයකට පසු තවත් කාන්තා ගගනගාමියෙකු වන Jessica Meir, සමග ප්‍රථම කාන්තා අභ්‍යවකාශ යුගල ගමන නිම කරන ලදී.

වික්ටර් ග්ලෝවර් 2013දී ගගනගාමියෙකු ලෙස තෝරාගන්නා ලද අතර ඉන් වසර හතකට පසු ISS හි ජීවත් වූ පළමු අප්‍රිකානු - ඇමරිකානු ISS ගවේෂණ කාර්ය මණ්ඩල සාමාජිකයා බවට පත්විය. ඔහු 2020 දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය Resilience නම් වූ Crew-1 SpaceX  Crew Dragon වානිජ යානයෙහි නියමුවා සහ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය.

අලුතින් ප්‍රකාශයට පත්කරන ලද කාර්ය මණ්ඩලය දැනටමත් මෙහෙයුම සඳහා පුහුණුවීම් ආරම්භ කර ඇත. 2024ට දින යොදා ඇති මෙම මෙහෙයුමෙදී ඔවුන් මාස 18කින් නාසා හි ඔරියන් අභ්‍යවකාශ යානයෙන් සඳ වටා පියාසර කරන අතර මතුපිට සිට සැතපුම් 5,523 දක්වා උපරිම උසකට ළඟාවනු ඇත. නමුත් මේ ගමනේදී ඔවුන් සඳ මත පා තබන්නේ නැත. එම ගෞරවය 2025දී සඳට යාමට නියමිත ආටෙමිස් III වෙත හිමිවනු  ඇත. ඒ දවසට 1972න් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය චන්ද්‍ර මතුපිටට නැවත පැමිණෙනු ඇත, සමහරවිට පළමු කාන්තාව සහ පළමු වර්ණ පුද්ගලයා  සඳ මත ඇවිදින්නටද වාසනාවන්ත වනවා ඇත.