2023 අප්‍රේල් 09 වන ඉරිදා

ට්‍රම්ප් නීතිය හමුවට: නඩු විභාගය කල්යයි!

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 69

අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු ප්‍රථමවරට අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියට ගෙන ඒමේ සුවිශේෂි සිද්ධිය මාධ්‍ය අතර උණුසුම් පුවතක් බවට පත්ව තිබුණි. ඒ අමෙරිකාවේ මෙතෙක් බලයට ආ ජනාධිපතිවරුන් අතර හිතුවක්කාරයෙකු ලෙස ප්‍රකටව වැඩිම ලෝක අවධානයක් දිනාගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුව ඇති නඩුවිභාගයක් සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වසරේ සිදුකරන ලද මුදල් ගෙවීම්වලට අදාළ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ 34ක් යටතේ වූ චෝදනාවන් සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා බලධාරීන්ට භාර වූ අතර ඔහු මෑන්හැටන්හිදී අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් මේ අපරාධ චෝදනා 34ට ම වරදකරු නොවන බව සිය නීතීඥ මණ්ඩලය මගින් අධිකරණයට කියා සිටියේය. ඊට පෙර දින රාත්‍රියේ Mar-a-Lago හිදී කළ කතාවකදී ද ට්‍රම්ප් ඔහු මුහුණ දෙන පරීක්ෂණවලට දැඩි ලෙස පහර දුන්නේය. ට්‍රම්ප්ට පක්ෂව සහ විපක්ෂ වූ විරෝධතාකරුවන් මැන්හැටන් අපරාධ උසාවියෙන් පිටත පිරී ඉතිරී ගොස් තිබුණි. 

අඟහරුවාදා, විනිසුරු ජුවාන් මර්චන් ට්‍රම්ප්ට එරෙහි ඇති මෙම මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයාගේ නඩුවේ මීළඟ නඩු විභාගය සඳහා දෙසැම්බර් 4 දින නියම කළේය. මේ  අනුව දැන් අමෙරිකාවේ ඡන්දදායකයින් හට ලබන වසරේ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානම් වන්නට සිදුව ඇත්තේ මැතිවරණයේ ප්‍රතිඵලයට බලපෑ හැකි ආකාරයේ තීරණාත්මක නීති සංදර්ශනයක් රටේ විශාලතම නගරය තුළ පැවැත්වෙන අතරතුරදීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු විභාගය එන වසරේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාව වනු ඇත.

පැමිණිලි පක්ෂයේ නීතිඥයන් ජනවාරි මාසයේදී නඩු විභාගය ආරම්භ කිරීමට බල කළ අතර ට්‍රම්ප්ගේ නීතීඥ මණ්ඩලය එය ලබන වසරේ ''වසන්තයෙන් පසුව'' ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය. යම් හෙයකින් ජනවාරියේ ඔහුට නඩු පැවරීමකට කටයුතු යෙදුනහොත්, පෙබරවාරි 5 සහ පෙබරවාරි 13 යන දිනවල ඔවුන්ගේ නාමයෝජනා තරඟ පවත්වන අයෝවා සහ නිව් හැම්ප්ෂයර්හි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදීම ට්‍රම්ප් හට නිව්යෝර්ක්හි ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සටන්  කරන්නටද සිදුවනු ඇත.

ට්‍රම්ප්  අඟහරුවාදා  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, දිගහැරෙන නීතිමය ක්‍රියාවලියට, මාස කිහිපයක් ගත විය හැකිය. කෙසේ හෝ  ඊළඟට ඔහුගේ නඩු කටයුත්ත සිදුවිය හැකි ආකාරය මෙසේය. අත්අඩංගුවට ගෙන දින 15ක් ඇතුළත, පැමිණිල්ල විසින් විමර්ශනයේ කොටසක් ලෙස රුස් කරන ලද සියලුම සාක්ෂි ('සොයාගැනීම' ලෙස හැඳින්වේ) විත්ති පාර්ශ්ව නීති කණ්ඩායමට භාර දිය යුතුය.

ට්‍රම්ප්ගේ නීතීඥ මණ්ඩලය දැනටමත් පවසා ඇත්තේ එය කවදා හෝ ජූරි සභාවක් වෙත  පැමිණීමට පෙර මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට ඉක්මනින් අධිකරණයට යෝජනා කෙරෙන මෝසමක් ගොනු කරන බවය. සාමාන්‍යයෙන්, විත්ති පාර්ශ්වයට නඩු පැවරීමෙන් පසු මෝසම් යෝජනා ඉදිරිපත් කිරීමට දින 45ක් ඇත. නමුත් ඊට වැඩි කාලයක් ලබාදීමට වුවද විනිසුරුවරයාට අභිමතය ඇත.

ට්‍රම්ප් විසින් මේ නඩුව මෑන්හැටන්වලින් පිටතට මාරු කිරීම සඳහා මෝසමක් ගොනු කිරීමේ අදහස දැනටමත් ඉදිරිපත් කර තිබේ. මෙලෙස ස්ථානය මාරු කිරීම සඳහා වූ  මෝසම් යෝජනාවක් ලබාදෙන්නේ කලාතුරකිනි. මේ සඳහා  පූර්ව ප්‍රසිද්ධිය හේතුවෙන් ට්‍රම්ප්ට මෙම නගරයේදී සාධාරණ නඩු විභාගයක් ලබාගත නොහැකි බව නීතීඥ මණ්ඩලය විසින් විනිසුරුවරයාට ඒත්තු ගැන්වීම අවශ්‍ය වනු ඇත. එසේම ට්‍රම්ප්ගේ කණ්ඩායමට ''ක්ලේටන් මෝෂන්'' ලෙස හැඳින්වෙන අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ මෝසම් යෝජනාවක් ගොනුකළ හැකිය. ට්‍රම්ප්ගේ විත්තියේ නීතිඥයින් බොහෝ විට ඔහුට පෙර දිස්ත්‍රික් නීතිඥවරයා විසින් නඩු පවරනු ලැබුවේ නැති බව පෙන්වා දෙනු ඇත. මේ අන්දමට නඩුව විසිකර දැමීමට යුක්ති සහගත මඟක් උදාවන්නටද හැකිය.

නිව්යෝර්ක්හි ''ඉක්මන් නඩු විභාගය'' රීතිය පවසන්නේ මාස හයක් ඇතුළත අපරාධ නඩුවක් විභාග කිරීමට නඩු පවරන්නන් සූදානම් විය යුතු බවයි, නමුත් පොත්වල ඇති දේ යථාර්ථයේ සිදුවන දෙයට වඩා වෙනස් ය. නිව්යෝර්ක්හි අපරාධ නඩු විභාග කිරීම ගැන හුරුපුරුදු හිටපු නඩු පවරන්නන් අනාවැකි පළ කරන්නේ මෙම නඩුව, නඩු විභාගයට යාමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. ''සාමාන්‍ය තත්වය තුළ, නඩු විභාගයට යාමට වසරක් ගතවනු ඇත'' යනුවෙන් මෑන්හැටන් හි හිටපු සහකාර දිස්ත්‍රික් නීතිඥ ඩැනියෙල් හෝර්විට්ස් පැවසුවේ විනිසුරුවරයාට ලැබෙන ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම විසින් ගොනු කරන ලද මෝසම්  සියල්ල විසඳීමට මාස කීයක් ගතවේද යන්න මත පදනම්ව නඩු  ක්‍රියාවලිය දිගු කාලයක් ඇදගෙන යාමට විය හැකි බවයි. 

තවත් හිටපු විනිසුරුවරයෙකු පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම විසින් නීති පොතේ ඇති සියලුම මෝසම් යෝජනා ගෙන එමින් මේ නඩු විභාගයට ගැනීම දිගට ඇදගෙන යාමට කටයුතු කරනු ඇති බවටය. මේ වනවිට ට්‍රම්ප්ට එරෙහි මෙම චෝදනා සහ නඩු ක්‍රියාවලිය ගැන පොදු අප්‍රසාදය බහුලවෙමින් තිබේ. ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළක්වීම සඳහා යෙදූ දේශපාලනික උප්පරවැට්ටියක් ලෙස බොහෝ අය වටහාගෙන ඇති බැවිනි.