2023 අප්‍රේල් 02 වන ඉරිදා

ඊශ්‍රායලයේ ඓතිහාසික වැඩවර්ජනයක්!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 122

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලසුම් සහගත අධිකරණ ප්‍රතිසංස්කරණයට විරෝධය පළ කරමින් ඓතිහාසික වැඩවර්ජනයක් එරට විශාලතම වෘත්තීය සමිතිය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රටේ ප්‍රවාහනය, විශ්වවිද්‍යාල, ආපනශාලා සහ සිල්ලර වෙළෙඳසල් වසා දමමින් ඊශ්‍රායලයේ දේශපාලන අර්බුදය නව මුහුණුවරකින් ඇරුඹී තිබේ.  

වැඩවර්ජනය සම්බන්ධීකරණය කළ ඊශ්‍රායලයේ Histadrut වෘත්තීය සමිතිය කියා සිටියේ රටේ විශාලතම නගර තුන, බැංකු, වරාය සහ රජයේ සමහර අමාත්‍යාංශ, මෙන්ම තවත් බොහෝ සමාගම් සහ ආයතන සඳුදා වැඩවර්ජනයක නිරත වූ අතර රෝහල් සහ ගිනි නිවන භටයන් වැනි අත්‍යවශ්‍ය සේවා සෙනසුරාදා දින වර්ජනයට එන බවය.

වර්ජනය හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ වන බෙන් ගුරියන් සහ  ටෙල් අවිව් වෙතින් ගුවන් ගතවීම් සියල්ල පැය කිහිපයක් නතර විය. හයිෆා හි රටේ විශාලතම වරායේ කම්කරුවන් වැඩ කිරීම නැවැත්වූ අතර, සමහර විශ්වවිද්‍යාල වසා දමා තිබුණි. මැක්ඩොනල්ඩ්ස් සහ සාප්පු සංකීර්ණ දාමයක් වන Azrieli සමූහය ඇතුළුව රටේ ප්‍රසිද්ධ සිල්ලර වෙළෙඳසල් සමහරක් ද වසා දමා ඇත. වොෂින්ටන් ඩීසී, ලන්ඩන් සහ පැරිස් ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිත ඊශ්‍රායල තානාපති කාර්යාල කිහිපයක්   වසා දැමුවේ ඔවුන්ගේ කම්කරුවන් සහ සමහර රාජ්‍ය තාන්ත්‍රිකයන් වර්ජනයට සම්බන්ධ වීමෙන් පසුවය. ඊශ්‍රායල ධජ ලෙළවමින් සහ "ප්‍රජාතන්ත්‍රවාදය" ඉල්ලා හඬ  නැගූ විරෝධතාකරුවෝ නගරයේ ප්‍රධාන අධිවේගී මාර්ගයේ ගිනි මැල දැල්වූ අතර අයලෝන් අධිවේගී මාර්ගය ඇතුළු වීදි සහ පාලම් ගණනාවක් අවහිර කළහ.

සැලසුම් කළ අධිකරණ ප්‍රතිසංස්කරණයකට විරුද්ධ වීම නිසා අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක ඇමැතිවරයා නෙරපා හැරීමෙන් පසු ඉකුත් ඉරිදා රාත්‍රියේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ වීදි පුරා දැවැන්ත ජනකායක් පිරී ගියේය. රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ටෙල් අවිව්හි පැවති පෙළපාලියකදී විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටීමකටද ලක්වූහ.

ඊශ්‍රායල අධිකරණ ආයතන කෙරෙහි පාලක පාර්ශ්වයන්ට වැඩි පාලනයක් ලබා දෙන නව සැලසුම් සහිත අධිකරණ වෙනස්කම්වලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ඊශ්‍රායල වැසියෝ මාස ගණනාවක් තිස්සේ විරෝධතා පවත්වමින් සිටිති. මේ අතර නෙතන්යාහු ඔහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ප්‍රමාද කරන බව කියා ඇත. නමුත් විරෝධතාකරුවන්ට අවශ්‍යව ඇත්තේ ඒවා ඉල්ලා අස්කර ගැනීම දැකීමටය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00