2023 අප්‍රේල් 02 වන ඉරිදා

ඉතිහාසයේ මුල්වතාවට අමෙරිකා ජනපතිවරයෙක්ට අපරාධ චෝදනා!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 98

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, තමන්ට එරෙහිව ඇති ව්‍යාපාරික වංචාවලට සම්බන්ධ චෝදනා 30 ක් සම්බන්ධයෙන් මැන්හැටන්හි මහා ජූරි සභාවක් ඉදිරිපිටට යාමට දැන් සිදුව ඇත. එක්සත් ජනපද ඉතිහාසයේ වත්මන් හෝ හිටපු ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා එල්ල වන පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

ඒ අනුව නිව්‌ යෝක් මහා ජූරි සභාවක් ඔහුට අධිචෝදනා කිරීමට පක්ෂව ඡන්දය දීමෙන් පසුව, ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට සති ගණනාවක් පැතිර තිබූ සැකය තහවුරු වී තිබේ. ට්‍රම්ප් අඟහරුවාදා අධිකරණයේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරයි. ට්‍රම්ප්ට ස්වේච්ඡාවෙන් බාරවීමට අවස්ථාව ලබාදෙනු ඇත, එසේ නොමැති වුවහොත්  ට්‍රම්ප්  ලබන සතියේ අත්අඩංගුවට ගැනෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙය හැඳින්වූයේ ''ඉතිහාසයේ ඉහළම මට්ටමේ දේශපාලන පීඩාව සහ මැතිවරණ මැදිහත්වීම'' ලෙසිනි. 2016 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සම්බන්ධව ඇති හොර මුදල් ගෙවීමක් සහ එය වසන් කිරීමක් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහි චෝදනාවක් එල්ලවී ඇත. ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීන්දු කර තිබේ. මේ හේතුවෙන් සහ හිටපු ජනාධිපතිවරයෙක් වීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගනු ඇත.