2023 මාර්තු 12 වන ඉරිදා

ජෝර්ජියා පාර්ලිමේන්තුවත් ජනතා අත්අඩංගුවේ!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 97

ලෝකය පුරා මේ වනවිට රටවල් ගණනාවක විරෝධතා උද්ඝෝෂණ බහුලව සිදුවේ. මතභේදාත්මක ''විදේශ නියෝජිත'' නීති සම්පාදනය කිරීමේ ආණ්ඩුවේ සැලසුම්වලට එරෙහිව ජෝර්ජියානු විපක්ෂය සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඉකුත් බදාදා (මාර්තු 8 වැනි දින) විරෝධතාවක් කැඳවා තිබුණි. ජෝර්ජියාවේ පාර්ලිමේන්තුවෙන් පිටත ටිබිලිසි හි පැවති මේ විරෝධතාවයකට ජනතාව දස දහස් ගණනින් සහභාගීව සිටියහ.

විරෝධතාකරුවන් අත පසුගිය වසරේ ජෝර්ජියාව එක්වීමට ඉල්ලුම් කළ යුරෝපා සංගමයේ ධජය මෙන්ම, එක්සත් ජනපදයේ, යුක්රේනයේ සහ ජෝර්ජියානු ධජයද ලෙළදෙන අයුරු දැකගත හැකිවිය. සමහර විරෝධතාකරුවන් ගොඩනැගිල්ලේ ජනේලවලට ගල් ගසා ආරක්ෂිත බාධකයක් බිඳ දැමීමට උත්සාහ කරන ආකාරය සමාජ මාධ්‍ය වීඩියෝවලද පෙන්නුම් කළ අතර, පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් යොදා ගත්හ.

මතභේදයට තුඩු දී ඇති පනත් කෙටුම්පතට අනුව විදේශයන්හි සිට වාර්ෂික ආදායමෙන් සියයට 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපයන සංවිධාන හෝ පුද්ගලයන්ට “විදේශ නියෝජිතයන්” ලෙස ලියාපදිංචි වීම හෝ අධික දඩයකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ යෝජනා මූලික අයිතිවාසිකම් විශේෂඥයින් අනතුරු අඟවන ආකාරයට රටේ සිවිල් සමාජයට දැඩි බලපෑමක් ඇති කරන අතර එහි ප්‍රජාතන්ත්‍රවාදයටද හානි කරයි.

පාලක ජෝර්ජියානු ඩ්‍රීම් පක්ෂය පවසා ඇත්තේ මෙම පනත එක්සත් ජනපද නීති සම්පාදනයට අනුව සකස් කර ඇති බවයි. එහෙත් විචාරකයින් පවසන්නේ එය  විදේශීය සබඳතා ඇති සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව කුරිරු සීමා කිරීම් සඳහා හේතුවිය හැකි අසල්වැසි රුසියාවේ මතභේදාත්මක නීතියක් අවුස්සන්නට පදනම දැමිය හැකි බවය.