2023 ජනවාරි 29 වන ඉරිදා

ජර්මන් - අමෙරිකා සහායෙන් යුක්රේන හමුදා කඩා පනියි!

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 237

සති ගණනාවක භූ දේශපාලනික ආරවුල්වලින් පසුව, දැන් එළැඹ තිබෙනුයේ යුක්රේන යුද්ධයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයකි. ඒ ජර්මනිය විසින් කියේව් හි හමුදාවන්ට Leopard 2 යුද ටැංකි ලබා දෙන බව නිවේදනය කිරීමත් සමගිනි.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා මෙම පියවර ප්‍රකාශයට පත් කළේ, යුක්රේනයට මිලිටරි සහාය වැඩි කරන ලෙස සහ ඔවුන්ගේ ඉල්ලා සිටින යුද වාහන යැවීමට කැපවන ලෙස බර්ලිනයෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජනපදය, පෝලන්තය සහ අනෙකුත් යුරෝපිය ජාතින්ගේ කණ්ඩායම් විසින් තීව්‍ර කළ ජාත්‍යන්තර පීඩනයට හිස නවමිනි.

මේ අතර මේ පියවර හා සමගාමීව එක්සත් ජනපදය ද, ඒබ්‍රම් ටැංකි 30ක් පමණ යුක්‍රේනයට යැවීමට සැලසුම් කරමින් සිටියි.

මේ ගැටුමට බටහිර යුද ටැංකි අලුතෙන් ගලා ඒමත් සමඟ යුද්ධයේ හැඩය වෙනස් වනු ඇත. මෙම යුද ආධාරය සමඟ මොස්කව් හමුදා, යුක්රේනයේ වාඩිලාගෙන සිටින භූමි ප්‍රදේශයන් නැවත ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ලොව පුරා උද්‍යෝගිමත් බවක් වර්ධනය වනු ඇත. 

එය රුසියානු ප්‍රහාර පරාජය කිරීම සහ නැවතී සිට පහරට පහර දෙනවාට වඩා යුක්රේනයට මොස්කව් හමුදාවන් වෙත සටන ගෙන යමින් කඩා පැනීමටත්, ඔවුන් අල්ලාගෙන සිටින ඉඩම් නැවත වැඩි වැඩියෙන් අත්පත් කර ගැනීමටත් පහසුකම් සැලසීමකි.

මේ සංසිද්ධිය අඬන්නට සිටි මිනිසාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳු ක්‍රියාවකි. 

ජර්මනිය සහ එක්සත් ජනපදය යුක්රේනයට යුද ටැංකි එවන බවට පළ වූ මුලික වාර්තාවන්ට රුසියාව ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. එය එක්සත් රාජධානිය ටැංකි යැවීමට කලින් ගත් තීරණයට ප්‍රතිචාර දැක්වූ ආකාරයටමය.

මෙලෙස යුද ටැංකි යැවීම රුසියාවට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වමින්  ක්‍රෙම්ලිනයේ නිලධාරින් යුක්රේනය අල්ලා ගැනීමට වඩා රුසියාව ආරක්ෂා කිරීමට යැයි කියමින් මෙතෙක් දිනක් කළ සිය ව්‍යාජ මිලිටරි මෙහෙයුම, දැන් සැබෑ ලෝක යුද්ධයක් මට්ටමට අවුලුවාලන්නට ක්‍රියා කළ හැකි බව මේ සම්බන්ධයෙන් යුද විශ්ලේෂකයන්ගේ අනතුරු ඇඟවිමයි.