2023 ජනවාරි 22 වන ඉරිදා

ගිනස් වාර්තා පොතට ගිය හැරී කුමරුගේ මුල්ම පොත!

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 41

හැරී කුමරුගේ දුක් අඳෝනා රැගත් Spare කෘතිය ගීනස් වාර්තාවක් තැබීමට සමත් වූ බව ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. කෘතිය නිකුත් කළ පළමු දිනයේදී එහි අලෙවිය පිටපත් මිලියන 1.43කි. චාල්ස් පිය රජුගෙන් සහ සොහොයුරු විලියම් කුමරුගෙන් තමාට සහ අමෙරිකානු ජාතික තම බිරියට සිදු වූ කෙනෙහෙලිකම් එම කෘතියට පාදක වී ඇත. පිටු 416කින් සමන්විත එම කෘතිය භාෂා 15කට පරිවර්තනය වී ඇත.

මීට පෙර පළමු දිනයේදී වැඩියෙන්ම අලෙවි වූ ප්‍රබන්ධයක් නොවන කෘතිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියා ඇත්තේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ මතක සටහන් ඇතුළත් A Promised Land කෘතියයි. එය පළමු දිනයේදී පිටපත් අටලක්ෂ අසූහත්දහසක් අලෙවි වූ බවට වාර්තා වේ.

හැරී කුමරුගේ කෘතිය ප්‍රකාශයට පත්කළ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනයේ නිවේදනයකට අනුව මේ වනවිට එම කෘතියේ දෙවැනි මුද්‍රණය වෙළෙඳපොළට නිකුත් කර ඇත. පළමු මුද්‍රණයේ පිටපත් මිලියන 2ක් දින 5ක් ඇතුළත අලෙවි වී ඇතැයිද වාර්තා වේ.