ජර්මානු ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදී සංවිධානයක සැක සහිත සාමාජිකයන් 22 දෙනෙක් සහ ආධාරකරුවන් තිදෙනෙක් එරට නිලධාරීන් විසින් බදාදා අත්අඩංගුවට ගනු ලැබූහ.
ජර්මානු වංශාධිපතියකු වන රියුස් හි ප්‍රධානී 13 වැනි හයින්රිච් කුමරු ඇතුළු 25 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගැනීම - ඇඩොල්ෆ් හිට්ලර්ගේ සහ නාසි පක්ෂයේ අවතාර තවමත් හොල්මන් කරන බවට සාධකයකි.
2021 නොවැම්බරයට ආසන්න කාලයකදී ආරම්භ කරන ලද රීච් සිටිසන්ස් ව්‍යාපාරය නම් වූ කණ්ඩායමේ 50 දෙනකු පමණ රජය පෙරළා දමා එය ඔවුන්ගේම නියෝගයකින් ප්‍රතිස්ථාපනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටි මේ කණ්ඩායමට සම්බන්ධ බවට සැක කරන බව ජර්මානු ෆෙඩරල් අභිචෝදක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, කියා තිබුණි. සැක කටයුතු ආධාරකරුවන්ගෙන් දෙදෙනකු ජර්මානු ජාතිකයන් වන අතර එක් අයකු රුසියානු ජාතිකයකු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ජර්මානු අධිකරණ අමාත්‍ය මාර්කෝ බුෂ්මන් ප්‍රකාශ කළේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් බදාදා උදෑසන සිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ෆෙඩරල් අභිචෝදක කාර්යාලය පැවසුවේ වැටලීම් අඛණ්ඩව සිදුවන අතර තවත් සැකකරුවන් 27 දෙනකුට එරෙහිව මෙහෙයුම් යොමු කර ඇති බවයි.
ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆයිසර් වැටලීම්වලට සම්බන්ධ වූ 3,000 ක් වූ පොලිස් නිලධාරීන්ට ස්තුතිය පුද කර තිබුණි. ජර්මනිය මෑත වසරවල අන්ත දක්ෂිණාංශික අන්තවාදය පාලනයට දැඩි ලෙස අරගල කර ඇත. 2020 ජූනි මාසයේදී, KSK නමින් හැඳින්වෙන ප්‍රභූ ජර්මානු හමුදා ඒකකයක්, දක්ෂිණාංශික අන්තවාදීන්ගේ බලපෑමක් ඇති බව සොයා ගැනීමෙන් පසු අර්ධ වශයෙන් විසුරුවා හරින ලදී. KSK යනු ත්‍රස්ත විරෝධී ව්‍යාපාර සහ ප්‍රාණ ඇපකරුවන් වැනි මෙහෙයුම් සිදු කළ ඛණ්ඩයකි. 2020 පෙබරවාරි මාසයේදී, ෆ්‍රුන්ක්ෆර්ට් අසල හනාවු නගරයේ ෂීෂා බාර් දෙකක සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් නව දෙනෙක් මිය ගියහ. එවකට චාන්සලර් ඇන්ජෙලා මර්කල් පැවසුවේ තුවක්කුකරු "දක්ෂිණාංශික අන්තවාදී, වර්ගවාදී චේතනාවන්" මත ක්‍රියා කර ඇති බවයි. මෙම සිදුවීම වසරක් තුළ දක්ෂිණාංශික සැකකරුවන්ගේ මෙහෙයවීමෙන් රට තුළ එල්ල වූ තුන්වැනි මාරාන්තික ප්‍රහාරයයි.