සිය ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවත්වීම ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ උත්සවාකාරව සමරද්දී, උතුරු ඉරානයේ ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ බන්ඩාර් අන්සාලිහිදී, මෙහ්රාන් සමක් නමැති අයකු සිය මෝටර් රථයේ නලාව නාද කරමින් විරෝධයට සහාය පළ කරද්දී ඔහුගේ හිසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
බොහෝ ඉරාන ජාතිකයන් කටාර් ගිය තම පාපන්දු කණ්ඩායමට සහාය දීම ප්‍රතික්ෂේප කළේ එය ඉස්ලාමීය ජනරජයේ නියෝජනයක් ලෙස සලකමිනි. සිය කණ්ඩායම ඉවත්ව යාමත් සමඟ ජනකාය වීදිවල ඔල්වරසන් දෙමින් නටන අයුරු වීඩියෝ දර්ශන පෙන්නුම් කළේය.
අවසන් කණ්ඩායම් තරගයේදී අමෙරිකා එක්සත් ජනපදය හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීමෙන් පසුව ක්‍රීඩකයන් මත අසාධාරණ පීඩනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එරට රාජ්‍ය අනුබද්ධ මාධ්‍ය ඉරානය තුළ සහ ඉන් පිටත සතුරු බලවේගවලට දොස් පැවරීය.
ක්‍රීඩකයන් එංගලන්තය හමුවේ 6-2 ක පරාජයක් ලද ඔවුන්ගේ පළමු තරගයට පෙර සිය ජාතික ගීය ගායනා නොකළ අතර, එය විරෝධතාකරුවන් සමඟ සහයෝගීතාවයේ ප්‍රකාශනයක් ලෙස දිස් විය. නමුත් ඔවුන් 2-0 ක් ලෙස ජයග්‍රහණය කළ වේල්ස් තරගයේදී සහ අමෙරිකාවට එරෙහිව දේශපාලනික වශයෙන් ආරෝපණය වූ සංදර්ශනයේදී ඔවුහු එය ගායනා කළහ.
මේ සඳහා ඉරාන බලධාරීන්ගෙන් කණ්ඩායමට දැඩි බලපෑම් එල්ල වූ බවට වාර්තා පළ වුවද ඇතැම් විරෝධතාකරුවෝ එය තම අරමුණ පාවා දීමක් ලෙස දුටුවහ. ඔවුන් සිය කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවත්වීම සමරන්නට වූයේ ඒ අනුවය.