2022 නොවැම්බර් 27 වන ඉරිදා

ජාවා දූපතේ 270ක් බිලිවෙයි: ලොව වටා භූකම්පන රැල්ලක්!

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, ප.ව. 06:00 96

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලතාවකින් යුතු දරුණු භූ කම්පනයක් පසුගිය සතියේ මුල සිදුවිය. ඉන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව බදාදා වන විට 270 දක්වා ඉහළ ගොස් තිබුණි. පුද්ගලයන් 151ක් දෙනකු   අතුරුදන් බව වාර්තා විය. මේ භූ කම්පනයෙන් තුවාල ලබා රෝහල්ගත වූ පිරිස දහසකට වැඩිය. මියගිය සහ තුවාල ලැබූ වැඩි පිරිස පාසල් සිසු සිසුවියන්ය. භූ කම්පනයෙන් නිවාස 22,000ක් පමණ විනාශයට පත්ව තිබුණි.

ඊට පෙර දින රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් යුතු තවත් භූ කම්පන තත්ත්වයක් මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  හටගෙන තිබුණි.

ඒ අතර සොලමන් දූපත් ආශ්‍රිතව ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නටද කටයුතු කර තිබුණි. නවසීලන්තයේ ප්‍රබලතාව 5.1ක් වූ කම්පන 2ක්ද, නොර්විජියානු මුහුදේ 5.1ක කම්පනයක්ද, ජපානය, රුසියාව, පිලිපීනය මෙන්ම චිලී, බොලිවියා, පේරු ආශ්‍රිතවද ඇතුළුව ලොව වටා විවිධ මට්ටමේ කම්පන රැල්ලක් වාර්තා විය.