2022 නොවැම්බර් 13 වන ඉරිදා

ඉන්දියාව මිනිසුන් අභ්‍යවකාශයට යවන ලොව සිව්වැනි රාජ්‍යය වෙයි!

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 88

මිනිසුන් අභ්‍යවකාශයට යැවීමේ හැකියාව ඇති ලොව සිව්වැනි රාජ්‍යය ලෙස ඇමෙරිකාව, රුසියාව සහ චීනය අතරට එක්වීමට ඉන්දියාව සැරුසේ. එම ඉන්දියානු ගගන ව්‍යාපෘතිය "අහස් වාහනය" හෙවත් සංස්කෘත භාෂාවෙන් “ගගන්යාන්” නමින් හැඳින්වෙන අතර ලබන වසරේ පෙබරවාරි මාසයේදී මුල්වරට අත්හදා බැලීමට  නියමිතය.

එරට අභ්‍යවකාශ ඒජන්සිය ISRO, තමන්ගේම කාර්ය මණ්ඩලයක් සහිත අභ්‍යවකාශ යානයක් මේ වනවිට ද සංවර්ධනය කරමින් සිටින අතර එමගින් සතියක පමණ කාලයකට පුද්ගලයන් දෙතුන් දෙනකු පෘථිවිය වටා ගෙන යාමට නියමිතය.

මේ වනවිට ඉන්දියාවේ මිනිසකු උඩු ගුවනට ගොස් වාර්තාවක් තබා වසර 38 කි. ඔහු 1984 දී රුසියානු අභ්‍යවකාශ යානයක ගමන් කළ ඉන්දීය ගුවන් හමුදා නියමුවකු වන රාකේෂ් ෂර්මා ය. එසේම ඉන්දියාව මේ වනවිට හඳට සහ අඟහරු වෙත සාර්ථකව  යානා යවා පිළිවෙළින් ඒ ජයග්‍රහණ ලැබූ තෙවැනි සහ සිව්වැනි රට බවට පත්ව හමාරය.  

ඉන්දියාවේ ප්‍රථම සාර්ථක චන්ද්‍ර මෙහෙයුම, 2008 දී චන්ද්‍රයාන්-1, නමැති අභ්‍යවකාශ යානයක් සඳ වටා කක්ෂගත කළ අතර පසුව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රුවයට හිතාමතාම පතිත කළ දෙවැනි ගවේෂණයක් ද යවන ලදී. 2014 දී ඉන්දියාව අඟහරු වටා කක්ෂයට චන්ද්‍රිකාවක් ද යැවීය.