2022 නොවැම්බර් 06 වන ඉරිදා

ලූලා බ්‍රසීලයේ බලය අල්ලයි!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 119

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස කලක් ජනපති ධුරය දැරූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යළි තේරී පත්ව සිටියි.

ඒ, ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝව පරාජයට පත් කරමිනි.

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පරාජය කරමින් ලූලා ද සිල්වා තියුණු සටනකින් අසමාන ජයක් වාර්තා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ලූලා ද සිල්වා 50.9% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර, ප්‍රතිවාදී ජෙයාර්ට හිමිවූයේ 49.1% ක ඡන්ද ප්‍රතිශතයකි. රටේ පාලනය බාරදීම සාමකාමීව සිදුවූ නමුත් මුල් දින කිහිපය තුළ අන්ත දක්ෂිණාංශික පාලකයකු වූ බොල්සොනාරෝ හිතවාදී ට්‍රක් රථ රියැදුරන් රටේ ප්‍රධාන නගර මංපෙත් අවහිර කරමින් විරෝධතාවක යෙදුණේ බොල්සොනාරෝ නිහඬව සිටියදීය. නමුත් පසුව බල හුවමාරුවට ඔහු එකඟ විය. මේ අනුව ලූලා නැවතත් බ්‍රසීල ජනපති පදවියේ එන ජනවාරියේදි දිවුරුම් දෙනු ඇත.

ලූලා ද සිල්වා මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගත්තේ දින 580ක කාලයක් සිරගතව සිට නැවත දේශපාලන සටනට පැමිණීමෙන් පසුය. මීට පෙර 2003 සිට 2010 දක්වා වාර දෙකකදී බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ලූලා පසුව දූෂණ වංචා චෝදනා මත අත්අඩංගුවට පත්වූ අතර, මාස 20කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටියේය. එබැවින් 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට නොහැකි විය.